රන්ජන් මඳක් ඕවර් ඇක්ටිං වුනත් උද්ධච්ඡ ප්‍රා.ලේකම් තැම්බ ඊට වඩා දස ගුණයකින් වැරදියි: ජනතා ප්‍රශ්න ගැන අසංවේදී ප්‍රා.ලේකම්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කරන්න (Video) විසල්ගේ විග්‍රහය
syndicated from lankaenews,
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට බැනවැදී පහර දීමට තර්ජනය කළා යැයි මේ දිනවල විශාල ඝෝෂාවක් නැගේ. නමුත් ඇමැතිවරයාගේ ප්‍රකාශයේ එවැනි තර්ජනයක් නැත. ඔහු කියන්නේ වෙනත් අයෙක් ‘හොම්බට ඇන්නොත්‘ කියා මිස තමන් හොම්බට අනිනවා කියා නොවේ.
“ඔබ තුමිය ලඟට කවුරු හරි ඇවිත් හොම්බට ඇන්නොත් ලිඛිතව පැමිණිල්ලක් එනකන් ඉන්නවාද? මනුස්සයෝ දහස් ගණනක් පීඩාවට පත්වෙන ප්‍රශ්නයකට නැකත් බල බල ඉඳලා හරියන්නේ නෑ. හදිසි අවස්ථාවක ඉක්මණින් පියවරක් ගන්න බැරිනම් වැඩක් නෑ නේද? “ යි රන්ජන් අසයි.. මෙය ඇමැතිවරයෙකු රජයේ නිලධාරියෙකුට කරන ලද තර්ජනයක් යයි රාජපක්ෂවාදී මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීම අමු තක්කඩි කමකි. ( ඔවුන් ප්‍රචාරය කෙළේ සමස්ත සංවාදය නොවන අතර තෝරාගත් කොටසකි) කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමතිවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම් වරියගේ දුරකථන සංවාදය ඔස්සේ දේශපාලකයා සහ නිළධාරියා සහ ඔවුන් ගේ භූමිකාවන් මෙන්ම ගති ස්වභාවයන් ගැන විග්‍රහයකට යෑමේ අවස්ථාව අපට උදාකර දී ඇත. මහින්දවාදී ප්‍රධාන මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය විසින් රන්ජන් නියෝජ්‍ය ඇමතිවරයා මර්වින් සිල්වාට සමාන කිරීමට ගන්නා උත්සාහය මෙන්ම මහජන සේවය ගැන වගේ වගක් නැති, කන්දක් පාත් උනත් ඇහැ ඇරෙන්නේ නැති, අකාර්යක්ෂම සහ දූෂිත නිළධාරීන් සහ තමන්ගේ තමන්ගේ එකෙකුට වාචිකව හෝ ප්‍රශ්නයක් වූ විගස නැට්ට උස්සාගෙන දඟලන රජයේ නිළධාරීන්ගේ සංගම් සහ ඔවුන්ගේ උද්ඝෝෂණ ගැන නම් අපගේ ඒ තරම් තැකීමක් නැති බව කිව යුතුය.
ප්‍රාදේශීය ලේකම්වරියගේ වගකීම් විරහිත ප්‍රතිචාර
ප්‍රශ්නය ඇති වන්නේ කිසියම් ව්‍යාපාරිකයෙක් හෝ පිරිසක් විසින් පවත්වාගෙන යන පස් කැපීමකට එරෙහි මහජන විරෝධයක් මුල් කර ගෙනය. ඇමතිවරයාගේ ඇමතුමට ප්‍රතිචාර දක්වන ප්‍රාදේශීය ලේකම් වරිය කියා සිටින්නේ එය ඇයගේ විශය පථයෙන් පරිබාහිර පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සහ පතල් කාර්යාංශයට අයත් රාජකාරියක් බවයි. අනතුරුව නියෝජ්‍ය ඇමතිවරයා දුරකථන සංවාදය පවත්වා ගෙන යද්දීම ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය විසන්ධි කරයි. ප්‍රශ්න ගත සංවාදය ඇති වන්නේඉන් අනතුරුවය. මේ අතරේ ඇය කියන්නේ ප්‍රශ්නයක් වේ නම් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි. මෙම ප්‍රකාශයම ඇය ගේ රාජකාරිමය ප්‍රවේශයේ ඇති ඕලාරික, පොතේ ගුරුවාදී මෙන්ම ප්‍රශ්න වලින් පලා යන ස්වභාවය විෂද කරයි. කිසියම් පුරවැසියෙක් වාචිකව ඉදිරිපත කරන ගැටළුවක්, විශේෂයෙන්ම විරෝධතාවයක් පැන නැගී ඇති සංවේදී මොහොතකදී, එය ගැටළුවක් ලෙස පිලිගෙන විසඳුම් සෙවිය යුතුය. ඇයට අනුව ලියුමක් ලියා එහි පිටපත් අහවලාට අහවලාට යවා ඒවාට පිලිතුරක් ලැබෙන තෙක් ගැටළුවේ වින්දිතයින් බලා සිටිය යුතුය. මේ සමස්ත රජ්‍ය සේවය ගිලගෙන ඇති අකාර්යක්ෂමතාවයේ කැටපතක්ය. ප්‍රශ්න සොයා බලා විසඳුම් දීම කෙසේ වෙතත් ඉදිරිපත් කරන ප්‍රශ්නය හෝ සලකා බලන්නේ නැත. එය තැපෑලෙන් එනතුරු සිටිය යුතුය.
පස් කැපීමකට හෝ ගල් කැඩීමට පතල් සහ භූ විද්‍ය කාර්යංශය සහ පරිසර අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බව මෙන්ම අදාල ආයතන ලබා දෙන නිර්නායකයන් අනුගමනය කරනවාද යන්න සොයා බැලීම එම ආයතන වල කාර්ය භාරයක් බව සැබෑය. නමුත් මෙම ආයතන දෙකෙන් අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට පෙර ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරී වරයා විසින් වාර්ථාවක් ලබා දිය යුතු අතර අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිළධාරියෙකු විසින් පරීක්ෂා කර ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කල යුතුය. පස් කැපීමට හෝ ගල් කොරියකට බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙතේදී අසීරුතම කඩඉම වන්නේ ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශයයි. ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශය නිකුත් කරන්නේ අවට ප්‍රදේශ වාසීන්ගේ විරෝධයක් පවතීද, අවට නිවැස් වලට හෝ පොදු ස්ථානයකට බලපෑමක් වේද යන කරුණු මැනවින් සලකා බැලීමෙන් අනතුරුවය. බොහෝ ප්‍රාදේශීය ලේකම් වරුන් තමන් විසින්ම ස්ථානය පරීක්ෂාවක් කර මහජන විරෝධයක් හෝ අවට නිවැසියන්ට ව්‍යාපෘතිය නිසා හානියක් සිදු නොවන බව තහවුරු කර ගනී. අසල නිවාස පිහිටියේ නම් එම එක් එක් නිවාස වලින් වෙන වෙනම ව්‍යාපෘතියට විරෝධයක් නොමැති බව ලිඛිතව ලබා ගැනීම සිදු කරනු ලබයි. අවට ගෙවල් 50 තිබේ නම් විරෝධතාවයක් නැති බවට ගෙවල් 50 න්ම ලිපි ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහාම සෑම ගෙයකටම ගොස් යම් උපකාරයක් කර හෝ රැකියා අවස්ථාවක් ඉදිරිපත් කර ලිපි ලබා ගැනීම සිදු කරනු ලබයි. එය කළ යුතුම වන්නේ ප්‍රාදේශීය ලේකම් ගේ ලිඛිත නිර්දේශය නොමැතිව පරිසර අධිකාරයට හෝ භූ විද්‍යා පතල් සහ කැනීම් කාර්යාංශයට අයදුම් පතක්වත් ඉදිරිපත් කළ නොහැකි නිසාය. මීට අමතරව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන්ද අවසර ලබා ගත යුතු අතර එයටද ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අවශ්‍ය වේ. ව්‍යාපෘතිය සිදු කරන්නේ රජයේ රක්ෂිතයක නම් වන සංරක්ෂණයෙන්ද අවසර ගත යුතු අතර එයටද ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය අවශ්‍ය වේ. යම් ව්‍යාපෘතියකට මහජන විරෝධයක් පැමිණි විට එයට මැදිහත් වීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රාදේශීය ලේකම් ගේ අනිවාර්ය රාජකාරියක් වේ. මක් නිසාද යත් ප්‍රාදේශීය ලේකම් එයට අනුමැතිය දී ඇත්තේ මහජන විරෝධයක් නොමැති යන පදනමේ සිට නිසාය. ප්‍රාදේශීය ලේකම්ට එම වගකීම අනෙකුත් ආයතන වෙත භාර දී පැත්තකට වීමේ හැකියාවක් නැත. තම ආයතනය ලබා දුන් නිර්දේශය අනුව අදාල ව්‍යාපෘතියේ වැඩ කටයුතු කරනවාද යන්න සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම්/ පරිසර අධිකාරිය/ භූ විද්‍යා සහ පතල් කාර්යාංශය/ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වන සංර්ක්ෂණයට මහජන විරෝධයක් එන තුරු බලා සිටිය යුතු නැත. ඒවා එම ආයතන වල අනිවාර්ය රාජකාරිය යි. මේ ආයතන වලින් බලපත්‍රයක් ලබා ගැනීම කෙතරම් දුෂ්කර දැයි දන්නෝ දනිති. එසේම බලපත්‍රයක් වෙනුවෙන් රජයේ නියමිත මුදලට වඩා කිහිප ගුණයක් අනියමින් වියදම් කළ යුතු බවද, ඒවාට විවිධ ක්‍රම සහ විධි ඇති බවද දන්නෝ දනිති.
මේ අනුව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරිය අදාල සිදු වීමේ දී ක්‍රියාකල ආකාරය නිළයට නොගැලපෙන, වගකීම් විරහිත මෙන්ම රාජකාරී වපසරිය නොසලකා හැරීමක් බව කිව යුතුය. ඇයට වහාම අදාල ස්ථානයට ගොස් තම නිර්දේශයට පිටින් ක්‍රියා කර ඇද්දැයි සොයා බැලීමේ වගකීමක් ඇත. එසේම තම නිර්දේශයට පිටින් ක්‍රියා කර ඇත්නම් බලපත්‍ර අහෝසි කරන ලෙස පරිසර අධිකාරියට සහ භු විද්‍යා පතල් කාර්යාංශයට දැනුම් දීමේ හැකියාව ද ප්‍රාදේශීය ලේකම් ලෙස ඇත. විශේෂයෙන්ම මහජන විරෝධයක් වැනි සංවේදී කාරණා වලදී වඩාත් කාර්යාක්ෂමව සහ විශ්වාසණීය ලෙස කටයුතු කළ යුතුය. මහජන වියදමින් මේ නිළධාරීන් නඩත්තු කරන්නේ ඒ සදහාය. “මට අදාල නැහැ” යැයි ප්‍රකාශ කිරීමට කිසිම රජයේ නිළධාරියෙකුට සදාචාරාත්මක හැකියාවක් නැත. ඒ අනුව මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ වැඩ තහනම් කර වහාම පරීක්ෂණයක් කරන්නැයි රාජ්‍ය සේවා කොමිසමට බළ කළ යුතුය. අපේ රට කවදාකවත් දියුණු කළ නොහැකිව තිබෙන්නේ පනස් හයේ පෙරළියෙන් පසු පරිපාලන නිලධාරීන් බවට පත් වූ මෙවැනි උද්දච්ඡ ගොං තැම්බවල් නිසා ය.
රන්ජන් ද මඳක් ‘ඕවර් ඇක්ටිං‘ ය
ආණ්ඩු පක්ෂයේ සමහර දේශපාලඥයින් ද තම සීමාව සහ වගකීම සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. මහජන උද්ඝෝෂණයක් යනු කිසියම් පොදු ගැටළුවක් සම්බන්ධයෙන් රජයේ හෝ බලධාරීන් ගේ අවධානය ලබා ගැනීම සඳහා කරන සාමූහික ක්‍රියාකාරිත්වයකි. හරයාත්මකව එසේ වුවත් අප රටේ උද්ඝෝෂණ ඇති වන්නේ පොදු කරණා පමණක් මුල් කරගෙන නොවේ. විරෝධතා කරුවන් අහිංසක නොවන අතර බොහෝවිට ඔවුන් පාරට එන්නේ වෙනත් කෙනෙකුගේ න්‍යයාය පත්‍ර අනුවය.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව උද්ඝෝෂණය කරන්නේ කලා අංශයේ එවුන්ය. මෙඩිකල් කොලේජ් එකේ එවුන් තමන්ගේ පාඩම් එක දිනක් වත් මග හරින්නේ නැත. ගම් වල කෙරෙන විරෝධතාද බොහෝ විට එක එකා වෙනුවෙන් කරන කඩේ යෑම් ය.
කෙසේ වෙතත් උද්ඝෝෂණයකදී එය සිදු කරන්නන් එක් පාර්ශවයක් වන විට අනෙක් පාර්ශවය වන්නේ රජය හෝ නැතිනම් වෙනත් බලධාරියෙකි. ඇමති වරයෙක් හෝ නියෝජ්‍ය ඇමති වරයෙක් නියෝජනය කරන්නේ ද රජයයි. ඔහු පෙනී සිටිය යුත්තේ රජය වෙනුවෙනුයි. මෙම සිද්ධියේ දී රජය නියෝජනය කරන්නේ ප්‍රාදේශිය ලේකම්/ පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සහ පතල් කාර්යාංශයයි. මෙම ආයතන වලින් යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් රජය වෙනුවෙන් ඇමතිවරුද ඒ ගැන සාමූහිකව වගකීමට බැඳී සිටී. එබැවින් රජය නියෝජනය කරන නිළධාරීන් සහ ඇමති වරුන් එක් පැත්තක සිට සිදු වී ඇති අඩුපාඩු විමසා බලා යම් විසඳුමක් උද්ඝෝෂකයින්ට ඉදිරිපත් කළ යුතුයි. ඇමති වරයෙක් උද්ඝෝෂකයින් අතරට ගොස් තම රජයේම නියෝජිතයකුට බැන වැදීම එක් පැත්තකින් හාස්‍ය ජනක වන අතර තවත් පැත්තකින් විකාරයකි. එය තමන් තමන්ටම බැන ගන්නවා වැනි පිස්සුවකි. එසේම කිසියම් නිළධාරියෙකුට එරෙහිව චෝදනාවක් ඇත්නම් එය විධිමත් ලෙස ඉදිරිපත් කර පරීක්ෂණයකට යා යුතුය. ප්‍රසිද්ධියේ බැන වැදීම මගින් චෝදනා ලාභියාගේ මෙන්ම චෝදනා කරන්නාගේ ගරුත්වයට හානි සිදු වේ.
ඍජු දේශපාලකයෙක් ලෙස රන්ජන් මෙතෙක් උපයා ගත් කීර්තිය සිල්ලර කාරණා මගින් හානි කර ගැනීම නොකළ යුතුය.
උද්ඝෝෂණ ගැන නැවත හිතන්න
බොහෝවිට මෙවැනි උද්ඝෝෂණ ඇතිවන්නේ පස් කැපීමට සහ ගල් කොරි පවත්වා ගෙන යෑමට එරෙහිවය. ගල් සහ පස් සංවර්ධන ව්‍යාපෘති සදහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයය. පස් සහ ගල් නොමැතිව ගොඩනැගිලි, පාරවල් සෑදීමට නොහැකිය. ගම් වල වුන් පාරවල් සාදන්න කියා උද්ඝෝෂණය කරන අතරේ පස් කැපීමට සහ ගල් කැඩීමට ද විරුද්ධ වීම එක් අතකින් අපබ්‍රංශයක්ය. විරෝධතා වල යෙදෙන වුන් පස් සහ ගල් නැතිව ගොඩනැගිලි සහ පාරවල් සාදන ක්‍රමයක් ගැන කියා දිය යුතුය. මේ ව්‍යාපෘතීන් විසින් අවට නිවැසියන්ට හිරිහැර ඇති වීම තේරුම්ගත හැකිය. රජයේ ආයතන සහ නිළධාරීන් සිටින්නේ ඒ ගැන සොයා බැලීමටය. මේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර ලබා ගැනීම අතිදුෂ්කර අතර එනිසාම දේශපාලන සහ පාතාල මැදිහත් වීම් බහුලය. ව්‍යාපාරිකයෙක් විශේෂයෙන්ම ගල් ක්‍රෂරයක් ආරම්භ කරන්නේ නම් විශාල මුදලක් ආයෝජනය කළ යුතුය. එම ආයෝජන වලට නිසි රැකවරණයක් රජය විසින් ලබා දිය යුතුය. මෙවැනි ව්‍යාපෘති මගින් විශාල මුදලක් රාජ්‍ය භාගය ලෙස රජය ආදායමක් ලබන බැවින් එයට නිසි සේවයක් කළ යුතුය. ඍජුව විශාල සේවක පිරිසක් රැකියා කරන අතර ප්‍රවාහනය වැනි අතුරු සේවා මගින්ද විශාල පිරිසක් යැපෙන බවද සැලකිය යුතුය. දැනට පවත්වාගෙන යන ගල් කොරි සහ පස් කැපීම් නවතා දැමුවහොත් එය සංවර්ධන ව්‍යපෘති වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. මෙවැනි ව්‍යාපෘති ආරම්භ කරන විට මහජන විරෝධතාවයන්ට අවස්ථාවක් ඇති අතර ඒ වෙලාවේ එකෙක් වත් විරුද්ධ වන්නේ නැත. සියළු බලපත්‍ර ලබා ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් සහ විශාල මුදලක් වැය වන අතර විශාල ආයෝජනයක් කර ව්‍යාපෘතිය ආරම්භ කළාට පසුව සිදු කෙරෙන විරෝධතා එතරම් සාධාරණ නැත. කුරුනෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ එක් චීන සමාගමක් විසින් ගල් ක්‍රෂරයක් සදහා සියළු බලපත්‍ර ලබා ගෙන සියළු යන්ත්‍ර ස්ථාපිත කර කාර්යාල සංකීර්ණ පවා ඉදිකිරීමෙන් පසුව ප්‍රදේශවාසීන්ගේ විරෝධතා නිසා නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ උදාහරණයක් මා දැක ඇත. තවත් ඉරාන සමාගමක් ග්‍රැනයිට් කැපීම සඳහා කුරුනෑගල, මහව ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක්ද මහජන විරෝධතා නිසා අතහැර දැමීමට සිදුවිය. මෙම සමාගමද සියළු බලපත්‍ර ලබාගත් අතර ඉඩම වෙනුවෙන් බදු මුදල් පවා ගෙවා ඇත. මේ විරෝධතා මගින් අහිමි වන්නේ ආයෝජනය. රැකියා අවස්ථාය. රජයට හිමි විය යුතු ආදායම්ය.
දේශපාලඥයින් මහජන විරෝධතා සහ ඒවායේ යෙදෙනවුන් සතු චන්ද ගැන හිතනවා මෙන්ම අනෙකුත් යථාර්තයන් ගැනද සැලකිලිමත් විය යුතුය.
-විසල් කරුණාරත්න විසිනි-
කුඩු කාරයන්ගේ සහ කොටස් වෙළෙඳ පොලේ හොරුන්ගේ නාලිකාවලින් බැට කන රන්ජන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ වීඩියෝවක් පහතින්
Comments
Post a Comment