ලෝක දේශපාලනයේ 2017 හෙවත් 'කුම්බලා මාලු කෑ බළලුන්ගේ වර්ෂය

syndicated from lankanewsweb,


ලෝක දේශපාලනයේ 2017  හෙවත් 'කුම්බලා මාලු කෑ බළලුන්ගේ වර්ෂය'

ආයෙත් අමුතුවෙන් හිතන්නට දෙයක් නැත. 2017 වසරේ ලෝක දේශපාලනය විසින් නෙළා ගනු ඇත්තේ 2016 වසරේ වැපිරූ අස්වැන්නයි. තල වැවිය යුතු තැන මුං ද, මුං වැවිය යුතු තැන අබ ද වවාගත් ලෝක දේශපාලනයේ 'අවාසනාවන්ත දෙදාස් දාසයේ' නියම අස්වැන්න, බුරුතු පිටින් ලැබෙනු ඇත්තේ 2017 වසරේදී ය.


2017 වසරේ ලෝක දේශපාලනයේ සිද්ධ වෙන්නට යන දේ අනුමාන කිරීමට පොරොන්දම් බලන්නට උවමනා නොවේ. පළිඟු බෝල ද උවමනා නොවේ!!
'
යුරෝපා සංගමය සමග එක්ව සිටිනවාද, නැතිනම් වෙන්ව යනවාදැයි බලන්නට පැවති ජනමතවිචාරණයේදී, කැඩී වෙන් වී තනියම 'එක වෙන්න'ට කැමති යැයි ඉතා කුඩා සුළුතරයකින් තීරණය වීම තුළ එක්සත් රාජධානිය අනාගත් අනාගැනිල්ල පැහැදිලිව පෙනෙන්ට පටන් ගනු ඇත්තේ 2017 වසරේදී ය. ලිස්බන් සම්මුතියේ 50 වැනි වගන්තිය ප්‍රකාරව 2017 මාර්තු මස අග වන විට එක්සත් රාජධානිය යුරෝපා සංගමයට සමුදිය යුතුම ය. කාරණය වියෝ දුක නොවේ. ඒ හා සබැඳි ආර්ථික ගැටලු සම්භාරයයි.  ඒ ඇසුරින් පැන නගින්නට ඉඩ ඇති දේශපාලන අස්ථාවරත්වයයි. එපමණක් නොව යුරෝපීය පාර්ලිමේන්තුවෙන් සම්මත වන අයවැයෙන් ලැබෙමින් තිබූ සහන අහිමි වීමයි. එතැනින් ගිය විට යුරෝපීය යුක්ති අධිකරණයේ යුක්තික බලයට, එක්සත් රාජධානියේ අධිකරණ වෙත කළ හැකිව තිබූ බලපෑම අහිමි වීමයි. යුරෝපා සංගමය යනු ආර්ථික ව්‍යාපෘතියක් නොව ස්ථාවරභාවය ගෙන දුන් දේශපාලන ව්‍යාපෘතියක් බව වටහා නොගැනීම තුළ ඉදිරියේදී කලාපයේ ඇතිවිය හැකි ස්වයං හුදෙකලාව සහ ස්වයං වාරණයයි. අනෙක් අතට දේශසීමා නැවතත් තනියම පාලනය කරන්නට යාම තුළින් විගමන ප්‍රතිපත්තිවල ඇතිකරගන්නට සිදුවන වෙනසයි. දැන් ඉතින් එක්සත් රාජධානිය අලුත් කාසියේ පටන් සියලුම දේවල් අලුතින් අච්චු ගසා ගත යුතුය. එක්සත් රාජධානි අගමැතිනී තෙරේසා මේ විසින් 2017 වසරේදී ලිස්බන් සම්මුතියේ 50 වගන්තිය අහෝසි කරාවිද? එය එසේ වුවහොත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් කැඩී යන්නේ නැත. නමුත් මෙයට මුහුණ දීම ලෙහෙසි දෙයක් නොවනු ඇත්තේ” ලේබර් මන්ත්‍රීවරුන් සහ සාමි මන්ත්‍රී මණ්ඩලය” ඇගේ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තුවේදී අතොරක් නැතිව ප්‍රශ්න කරන්නට සූදානම් වන නිසා ය. රටේ ජනගහනයෙන් මිලියන 17.4 ක් දක්ෂිණාංශික ලණුව ගිල” යුරෝපා සංගමයෙන් වෙන් වන්නට උවමනා යැයි සුලු බහුතරයකින් හෝ කියා ඇති හෙයින් මේ ජනහඬ නොතකා සිටින්නට” වගවීමක් සහිත නායකයන් සිටින රටක් වශයෙන් ඔවුන්ට හැකියාවක් ද නැත. තවද දේශපාලන විචාරකයන්ට අනුව තෙරේසා මේ කිසිම ලෙසකින් උදා වූ 2017 වර්ෂය තුළ මහමැතිවරණයකට නම් නොයනු ඇත. එයට හේතුව” එය සංකීර්ණතා ඇති කරන බැවින් සහ එහි ප්‍රතිඵලය කලින් කිව නොහැකි බැවින් ය. මෙවැනි කුණාටු සමයක ඡන්දයක් පැවැත්වීම තනිකරම සූදුවකි. තෙරේසා මේ වගකිවයුතු නායිකාවක් විනා සූදුකාරියක් නොවේ.
අනෙක් අතට බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් කැඩී වෙන්වුණු ජනමත විචාරණය ලෝක දේශපාලනයට” විශේෂයෙන්ම යුරෝපයේ දක්ෂිණාංශික ව්‍යාපාරයට පනින්නට සිටි රිලවුන්ට ඉණිමං බැඳිල්ලක් වුණේය. මේ සම්බන්ධ ආසන්නතම පරීක්ෂාව සිදුකෙරෙනු ඇත්තේ ප්‍රංශයෙනි. මැයි මාසයේ ය. එනම්,මැයි මසට යෙදී තිබෙන ප්‍රංශ ජනාධිපතිවරණයයි. ප්‍රංශයේ දක්ෂිණාංශික හඬ බවටද, ට්‍රම්ප්ගෙ නංගී යනුවෙන් ද හැඳින්වෙන මරීන ලුපෙන් දැනට නම් දිනන පාටක් නැත. නමුත් ඇගේ ජනපති සටනට මුදල් විසිකරන ප්‍රධානතම ආයෝජකයෙක් වන්නේ රුසියාවේ පුටින් බව අමතක නොකරන්න. අවසන් මොහොත වන තෙක්ම ඇමරිකාවේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ප්‍රජාව, ට්‍රම්ප් නමැති උන්මත්තකයා ලබන සතියේ ධවල මන්දිරයේ වැඩ බාරගන්නා තත්වයකට පත්වේයැයි සිහිනෙන් පවා නොසිතූ බව ද අමතක නොකරන්න. නොවැම්බර් මාසයේදී ඇමරිකාව ට්‍රම්ප් නිසා ලක්වූ අනපේක්ෂිත කම්පනය මීළඟට මතුවන්නේ මැයි මාසය අග වන විට ප්‍රංශයෙන් වන්නට ද පුලුවන. එය එසේ වුවහොත් බ්‍රෙක්සිට් එක තනිකරම විද්වත් විෂයයක් බවට පමණක් පත්වනු ඇත්තේ මරීන නංගි විසින් බ්‍රෙක්සිට් එක පමණක් නොව මුලු යුරෝපා සංගමයම කඩ කඩ කොට විසුරුවා දමන්නට පටන් ගන්නා නිසා ය. මේ පෘථිවි ග්‍රහයා මේ  ළඟකදී පටන් හිරු වටා දකුණු පැත්තට නොව රුයිතෙට කැරකෙන සෙයකි.
යුරෝපා සංගමය  ශක්තිමත් 'සමගි ඒකකයක්' ලෙස පවත්වාගෙන යන්නට කැසකවන කදිම ගැහැනිය-ඇන්ජෙලා මර්කෙල් ගේ අනාගතයට ද මෙම ප්‍රංශ ප්‍රශ්නය තීරණාත්මක බලපෑමක් සිදුකරනු ඇත. එයට හේතුව, මර්කෙල් ජර්මානු චාන්සලර් වශයෙන් සිව් වැනි ධුරකාලයක් සඳහා සුදුසුදැයි තීරණය කෙරෙන ඡන්දය පැවත්වෙන්නට නියමිතව තිබෙන්නේ ද 2017 සැප්තැම්බරයේදී වන නිසා ය. බොහෝ විට මේ ධුර කාලය ද මේ අනගි ගැහැනිය විසින් දිනාගන්නට විශාල ඉඩක් පැවතියත්” එහිදී ඇයට සභාග උාණ්ඩුවකට යන්නට බොහෝ විට සිදුවනු ඇත. ජර්මනිය වැනි දියුණු රටවල මෙවැනි වැඩ සිද්ධවෙන්නේ මනා විනිවිද භාවයකින් යුතු ව විනා අපේ රටේ ආප්ප-කෝපි ''ජනකතාවේ2''වැඩ සිද්ධ වූ පිළිවෙළට නොවේ. ඒ නිසා බොහෝවිට මර්කෙල්ගේ නායකත්වය ජර්මනිය තුළ තහවුරු වනවිට 2017 අගභාගය පමණ වන්නට ඉඩ තිබෙන අතර, වෙනත් ලෙසකින් පවසන්නේ නම් එහි අර්ථය” 2017 අග භාගය වන තෙක්ම, ඇය විසින් ප්‍රධානත්වය දරණ යුරෝපා සංගමය පවා දේශපාලන අස්ථාවරභාවකින් පෙළෙන්නට පටන් ගනු ඇති බවය.       
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිකම හේතුවෙන් ලෝකයට සිද්ධවන්නට යන විපත්තිය ගැන කලින් කිව නොහැක්කේ, ඔහු කුමක් කරනවාදැයි කලින් කියන්නට නොහැකි ජාතියේ අයෙක් නිසා ය. කෙසේ නමුත් දැනට කිවහැක්කේ දේශගුණය වෙනස්වීම යනුවෙන් සංසිද්ධියක් ඇති බව පවා නොඅදහන අයෙක් සමග ලෝක දේශගුණික නියාමකයන්ට හැපෙන්නට සිදුවී තිබෙන බවයි. උදාහරණයක් වශයෙන් ට්‍රම්ප් ස්ථිර වශයෙන්ම කියා තිබෙන්නේ තමන් පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව ය. ඉන්පසු තමන්ගේ හිතුමතට කර්මාන්තවලින් මුදල් උපයන බව ය. සරලව කියන්නේ නම් දේශගුණයට හෙණහත වැදුණත් ඔහුට කම් නැත. අවසානයේ මේ පවටත් කර ගසන්නට සිද්ධ වන්නේ දුප්පත් රටවලට ය. එය සිද්ධ වන ආකාරය අපූරු ය. නිර්මාණාත්මක ය. දැනගන්නටම වටියි. එනම්” මිහිතලය උනුසුම්වීමට වගකියන හරිතාගාර වායු, එක්සත් රාජධානිය විසින් විමෝචනය කරනු ලබන්නේ සියයට 2කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. නමුත් ගෝලීය උනුසුම පිළිබඳ ප්‍රතිපත්ති පදනමේ පීටර් ලිලී විසින් නිල අගයන් මත රඳා පවතමින් සකසන ලද නවතම වාර්තාවකට අනුව මේ සියයට 2 ක ප්‍රමාණය විසින් ලෝක ආර්ථිකය මත ඇතිකරන බර පවුම් බිලියන 300කට ආසන්න ය. මේ කතාවේ හොඳම කෑල්ල” මේ පවුම් බිලියන 300 ක වැය බර දරන්නට සිද්ධ වන්නේ තනිකරම දුප්පත් රටවලට ය!!
ගතවූ වසරේ ට්‍රම්ප් නමැති 'නොසැලකිලිමත් සාහසිකයා' ලෝකය බියවැද්දවූ එක් ප්‍රධානතම ක්‍රමයක් වූයේ ලෝක ආරක්ෂාවට උද්ධච්ච ලෙසින් අභියෝග කිරීමයි. 'ඇමරිකාව තමයි එක-ඇමරිකාව විතරයි එක' යනුවෙන් හඬතළන ට්‍රම්පච්චී ඉන්තේරුවෙන්ම කියා තිබෙන්නේ තමන් නේටෝ සංවිධානයෙන් නම් ඇමරිකාව ගළවනවා කියා ය. එපමණක් නොව රුසියානු ජනපති පුටින් සමග ඉතාම සමීප 'ළඟ ඥාති සම්බන්ධයක්' පවත්වනවා කියා ය. දැන් ඉතින් කටවහරට කියනා පරිදි, ''රෙද්ද අස්සේ සර්පයන් දමාගන්නට යන'' මේ මෝඩ මිනිහා, ''කනවෝ කනවෝ- රුසියාව හරි වසෝ- මට ගේම දෙනවෝ'' කියා අරුත්බර ලෙස කෑදෙන දිනයක් එනතෙක් ඇමරිකාව අර මොනවාදෝ ගිල්ල කවුදෝ මෙන් උඩ බලාගෙන සිටිය යුතුමය.    
ඒත් දැන් ඉතින් වෙන මොනවා කරන්නද? කුම්බලා මාලු කෑවානම්- බළලා විඳවිය යුතුමය.
ක්‍රිෂාන්ති රාජපක්ෂ

Comments