syndicated from lankanewsweb.
අමරදේවයන් අපගෙන් වෙන්වී යන මේ මොහොතේ ඔහු පිළිබඳ වැඩි පිරිසක් නොදත් කරුණක් මතකයට එයි.
ඒ අමරදේවයන් ලොව ඇමතූ දිනයයි. එතුමන් ගේ මධුරස්වරයත්, සොඳුරු වාදනයත් ලොව පුරා පැතිර ගිය අමරණීය මොහොත ඔහු සමුගත් දින මළ හිර බැස ගිය මේ සීත රාත්‍රියේ මධු විතත් කඳුලත් මුසුව කාන්සියේ සිටිනා මේ මොහොතේ සුළඟේ දැවටී මතකය ගලා එයි.
වසර පහලවකට පමණ පෙර ප්‍රසංගයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටි අමරදේවයන් හමුවූ මොහොතේ මසිත නැඟුණේ ලන්ඩන් පැමිණියත් ප්‍රසංග පැවැත් වුවත්, ඒ සොඳුරු හඬ අසන්නේ ලාංකික සහෘදයන් පමණක් නොවේදැයි යන්නයි.
පසු දින කාර්යාලයට ගොස් මොහොතකින් බී බී සී ලෝක සේවා රුපවාහිනියේ ආසියානු සංස්කාරක රීටා පේන් ඇමතූ මම, ශ්‍රී ලංකාවේ මහා සංගීතවේදී අමරදේවයන් පැමිණ සිටින බවත්, එතුමන් ලෝක සේවා රුපවාහිනියේ සම්මුඛ සාකච්චාවකට සහභාගී කරවාගත යුතු බවත් කීවෙමි. දිග ඇදෙමින් පැවති යුද්ධය හැර අප රට ගැන වැඩි දැනුමක් නැති බටහිර මාධ්‍යවේදීනට අමරදේව හඳුන්වාදීම, සහ එතුමන් පිළිබඳ නොයෙක් තොරතුරු පැහැදිළි කිරීමෙන් අනතුරුව ආරාධනාව සකස් කෙරිණි. දිනයත් වෙලාවත් එකඟ කර ගත්තත් එදින රසික පිරිසක් හමුවීමටද ඇති බවයි අමරදේවයන් ප්‍රකාශ කළේ.
අප රට මහා ඝාන්ධර්වයා කැඳවා ඒමට කුමන අන්දමේ රථයක් අවශ්‍යදැයි ඇසු විට, වඩාත් සුඛෝපබෝගී ලුමිසීණයක් ඉල්ලා සිටියේ අමරදේවයනට සුදුසු ගෞරවය ලබා දිය යුතු වූ හෙයිනි.
එදින සවස ලන්ඩන් නගරයෙන් බැහැර පර්ලි ප්‍රදේශයේ නිවෙසක රසිකයන් අතරේ සිටි අමරදේවයන් පිටව යනවාට ඔවුන් අකමැති වූ තරමින් අමරදේවයන් ඔවුන් දමා ඒමට මැලි කළේ ය.
තම මැන්ඩලීනය ද රැගෙන බී බී සී ලෝක සේවා රුපවානීයට ආ අමරදේවයෝ චතුර ඉංග්‍රීසි බසින් කතා කරමින් ගායනයක් සහ මැන්ඩලීන වාදනයක් ගුවනට මුසු කරමින් ලොව නැලවූ ඒ මොහොතේ පාලන මැදිරියේ සිටි මා දෙනෙතට කඳුළු නැඟුණේ ඇයිදැයි නොදනිමි.
එදා අමරදේවයන් ලොව නන් දෙස රසික දෙනෙත් මල් පෙති අග පිණි කඳුළක් රැඳවූ බව මට පසුව දන්වා තිබිණි.
Comments
Post a Comment