මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රීලනිපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

syndicated from lankanewsweb.

මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රීලනිපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65වෙනි සංවත්සරය වෙනුවෙනි
කුරුණෑගලදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  65 වෙනි සංවත්සරයට පළමුව සුභ පතමු. ශ්‍රීලනිප සම්මේලනය අඛණ්ඩව වසර විසි දෙකක්ම විධායක ජනාධීපති වරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහීව රැස්විය. මේ විශිෂ්ඨ ඉතිහාසය දැක දැක  නැවත රටේ විධායක ජනාධිපති විය නොහැකි පුද්ගලයෙකුට පක්‍ෂය භාර දිමට කරන සටනක්ද මේ අතර ඉස්මතුවේ.  ඒ කැරළි කරුවන් මෛත්‍රිට එරෙහිව  නගන චෝදනා රැසකි. පක්‍ෂය අතහැර ගොස් මහින්ද ගෙදර යැවීමද, එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩුවක් තැනීමද, පසුගිය රජයේ දූෂණ වංචා සෙවීමද, වඩාත්  කතාබහට ලක්ව ඇත. මේ සියල්ල පුද්ගලිකව සමහර විට මහින්ද රාජපක්‍ෂට අවාසිදායක විය හැකිය. එහෙත් ශ්‍රීලනිප පක්‍ෂ ව්‍යවස්ථාවට විධායක ජනාධිපති වරයා පළවා හැරිය නො හැකිය. ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහකිය.
මෛත්‍රිපාල සිරිසේන යනු 45 වසරක් තමන් ශක්තිමත් කළ පක්‍ෂයෙන් නික්ම ගොස්  විධායක ජනාධිපති පදවියට  පත් අසහාය පෞරුෂයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය  පළමුවැන්නා මෛත්‍රි නොවේ. පක්‍ෂ නායකත්වයට උරුමකම් කී චන්ද්‍රිකා අනුර ආදි බණ්ඩාරනායක දරුවන් මෙන්ම මහින්ද රාජපක්‍ෂද ශ්‍රීලනිපය හැර ගොස් නැවත පැමිණියෝ වෙති.  අද මහින්ද කල්ලියේ ගැලවුම් කාරයා වන  බැසිල් රාජපක්‍ෂ 1977දී  ශ්‍රීලනිපය පැරදුණ පසුව,  එජාපයට රිංගුවේය. ඔහු  මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ශ්‍රීලනිපයට එරෙහිව එජාප ඡන්ද සටනද  මෙහෙය වීය. ඔහු 2015 ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ පක්‍ෂයද සිය සොහොයුරාද  අතහැර ඇඹෙණිය සමග විදේශ ගතවිය. දිනේෂ් ගුණවර්ධන සිය පියාගේ පක්‍ෂය කුණු කූඩයට දමා මහින්දට කඬේ යමින් සිටියි. බන්දුල ගුණවර්ධන  2001දී ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළා දමා එජාපයට එක් විය. විමල් වීරවංශ මහින්ද චින්තන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව පළමු වෙඩි මුරය තැබූ කථිකයාය. උදය ගම්මන්පිල පාඨලී චම්පිකලා සමග මෛත්‍රි දිනවීමට පැරට බැස එක් රැයින් මහින්දට එකතු විය. පක්‍ෂයක් හැර යාම මෙන්ම නැවත පැමිණීමද දේශපාලනඥයෙකු සතු අයිතියකි. එහිදී මෛත්‍රි පමණක් ද්‍රොහියෙකු විය  හැකිද?  නොවැම්බරයේ ශ්‍රීලනිපයෙන් නෙරපා හැරියද,  ජනවාරියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගෞරව පූර්වකව සාමාජිකත්වයද,  මහින්ද ස්ව කැමැත්තෙන් පක්‍ෂ නායකත්වයද මෛත්‍රිට පිරි නැමීය.
මහින්ද තම පාලනයට එජාපයේ කරු ජයසුරියද ධර්මදාස බණ්ඩා ගාමිණි ලොකුගේ ආදිහූ කැඳවීය. ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රි ලවා ලෙස 2006 පෙබරවාරියේ එජාපය සමග එකඟතා ගිවිසුමක් අත්සන් කරවීය. එය මහින්ද හැඳින්වූයේ ආසියාවේ දිදුලන ආශ්චර්ය ලෙසය. එදා එහෙම මහින්ද එහෙම හැසිරුණේ යුද්ධය දිනා ගැනිමට බව ඔහු කියයි. එහෙත් ඇත්ත එය නොවේ. ඒ වනවිට ජවිපෙය ආණ්ඩුව අතහැර ගොස්ය. එජාපය අයැවැයට එරෙහි විශ්වාස භාග යෝජනාවකට පිට පොට ගසා සිටියහ. බඩගිනිවූ විට කුලවාදි බමුණා සැඩොලාගේ ඉඳුල් බත උදුරා කෑ කතාවට අනුගතව, මහින්ද එසේ එජාපය සමග ගිවිසුම් ගැසීය. එය කෑවේ තිස්ස අත්තනායකය. එය පසුපසින් සිටියේ රනිල් වික්‍රමසිංහය. ඒ ඉතිහාසය අද මහින්දගේ ගෝලයන් අමතක කර, එජාපය සමග වැඩ කිරිම ඒඞ්ස් හැදුණා සේ කතා කරති. 18 සංශෝධනයට අත් එසවූ වාමාංශිකයන් පසුව කීවේ සැබෙවින්ම තමන් එයට විරුද්ධ බවය. ඒ ප්‍රකාශය පාදක කොට විනී හෙට්ටිගොඩ කාටුන් එකක් ඇන්දේය. එහි රවුල් කාරයෙක් “අපි ඊට විරුද්ධයි. ඒත් ඡන්දය දුන්නා.” යන ප්‍රකාශයට පසුව, දෙවැන්නෙකු මෙසේ කියයි. “ඒ කියන්නේ තමුසෙලා අසූචි බව දැන දැන කෑවා හරිද සොහෝදරයා”ඒ කාටුනය් උත්තරය මහින්දට සහ ගොලයන්ගෙන් ජනතාව විමසමින් දසිටිති.
2014 නොවැම්බර් 21 දින මෛත්‍රි බලය සහ තනතුරු හැර පාරට බැස්සේ දේශපාලන තීරණයක් අනුවය. ඒ දේශපාලනය අනුව,  මෛත්‍රි සිවිල් සමාජය සහ එජාපය සමග සන්ධාන ගතවිය. එහිදී ඇතිවූ එකඟතා බොහෝය. පළමුවැන්න යහ පාලන ආණ්ඩුවක් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. ඒ විධායක ජනාධීපති ක්‍රමය අහෝසි කිරිමටය. සිදුවූ  වංචා දූෂණ සොයා වැරදි කරුවන්ට දඬුවම් දීමටය. නැවත එවැන්නක් නොවන ලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිමය. සු`ථ ජාතින් සමග සංහිඳීයාවක් ඇති කිරිමට අවශ්‍ය පියවර ගැනිමය.ජා්‍යන්තරයෙහි විනාසවූ රටේ ප්‍රතිරූපය ගොඩ නැගීමය. ජනවාරි 9 වෙනිදා මෛත්‍රි ශ්‍රී ලංකා කාරයෙකු අගමැති කළා නම් මේ එකක්වත් කළ හැකිද? ජයග්‍රහණය කළ වහාම නිර් පාක්‍ෂික එකඟතාව අනුව, රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස නම්  කර ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළේ  එබැවිනි. න වසරක් රට කා විනාස කළ ශ්‍රීලනිපයේ මහ ලේකම් ගැන සිවිල් සමාජය විශ්වාසය තැබීම ගැනවත් ශ්‍රීලනිපය සතුටු විය යුතුවේ.හේතුව ඒ වනවිට මහින්ද සහ පිරිස ඒ විශ්ෂ්ඨ පක්‍ෂයේ නමද කෙළෙසා තිබුණ බැවිනි. යුගයට ඔබින මිනිසෙකු සෙවිමේදි  උචිතයා හමුවුණේ ශ්‍රීලනිපයෙනි. ඒ 1951  පක්‍ෂය බිහි කළ පරමාර්ථය යළි අනාගතය වෙනුවෙන් ඉටු කිරිමකි. පක්‍ෂය කැඩුවා කියන්නේ ඒකටද?
මේ සියල්ල සිද්ධ වෙනවිට මෛත්‍රි නිර් දේශපාලන ප්‍රපංචයක් විය. නොවැම්බරයේ ශ්‍රීලනිපයෙන් නෙරපා හැරිය මෛත්‍රි ජනවාරියේ රටේ ජනාධිපති විය. ඒ සමග ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නැවත ගෞරව පූර්වකව මෛත්‍රිට සාමාජිකත්වය පිරි නැමිය. මහින්ද ස්ව කැමැත්තෙන් පක්‍ෂ නායකත්වයද මෛත්‍රිට පිරි නැමීය. ඒ අනුව මෛත්‍රි පක්‍ෂය හැර යාම කිසිසෙත් කිසිවෙකුට තවදුරටත් ප්‍රශ්න කළ හැකිද?
මෛත්‍රිපාල සිරිසේන යනු වසර 46ක් ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් දර දිය ඇද්ද එහි මහ ලේකම් තනතුර දක්වා ඉහළට ආ කාඩරයෙකි. ඔහු 2014 නොවැම්බර් 21 වෙනිදා පක්‍ෂයෙන් ඉවත් විය. ජනවාරි 9 වෙනිදා රටේ ජනාධීපති විය. ජනවාරි 9 වෙනිදා  ජනාධීපති වුනා නම්,........? පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රිපාල සිරිසේන යනු දරුණු වද වේදනා සහිත මරණයට හිමිකම් ලබන ද්‍රෝහියෙකු පමණකි. දැන් ඒ සියල්ල කනපිට පෙරළී ඇත. 2014 නොවැම්බර් 21 දින සිට ජනවාරි 9 තෙක් තත්වය එය විය. අගෝස්තු මහ මැතිවරණයේදි මෛත්‍රීත් මහින්දත් සිටියේ එක පිළකය. මහින්ද  වෙනුවට චමල් හෝ ගෝඨාභය ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා ලෙස  නම් කිරිමට මෛත්‍රි සටන් කළ බව එස්.බී.දිසානායක කියයි. මහින්ද ඊට එකඟ වි නැත. ඒ නාමල් රාජපක්‍ෂට ශ්‍රීලනිපයේ ඊළඟ නායකයා විමට අවස්ථාව අහිමි වෙතැයි බියෙනි. මහින්දට උවමනා පරිදි ශ්‍රීලනිපය හැසිරවීමට මෛත්‍රි කැමති වේද?
දැන් පවත්නේ ජූලි 16න් පසු තත්වයයි. තමා විසින් බිම හෙ`ථෑ ප්‍රතිවාදියාගේ ඉරණම තීන්දු කිරිිමේ පරම  අධිකාරිය හැමදාම ජයග්‍රාහකයා සතුවේ. මහින්ද තම ප්‍රතිවාදි සරත් පොන්සේකා හිරේ දැම්මේත් මෛත්‍රි තම ප්‍රතිවාදි මහින්දට මැදමුලනට නිදහසේ යන්ට හැරියේත් ඒ  අනුවය. මහින්ද 2007 පෙබරවාරියේ  මංගල සමරවීර හා ශ්‍රීපති සූරියාරච්චි දෙදෙනා පක්‍ෂයෙන් පහ කළේය.  එජාප මන්ත්‍රීන්ට ඇමතිකම් දීමෙන් නතර නොවී  ශ්‍රීලනිප ආසන සංවිධායක තනතුරුද බෙදුවේය. මෛත්‍රි දැක දැක මහින්ද රාජපක්‍ෂ රෝද පුටුවෙන් යන දිමු ජයරත්න පත් කළේය. රත්නසිරි වික්‍රමනායක ආදිහූ   ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහ`ථ මඩමට යැවීය. අමාත්‍යංශ 19ක බලතල බැසිල්ට පවරා දුන්නේය. පක්‍ෂ නායකයා ලෙස හෝ විධායක ජනාධිපති ලෙස මහින්ද මේ තීරණ ගන්නා විට  කිසිවෙකු ගෙන් විමසුවේද? නැත.  හේතුව පක්‍ෂ ව්‍යවස්ථාවෙන්  නායකයාට පැවරුණ බලතල නිසා ය. මහින්දගෙන් පක්‍ෂය භාර ගැනිමෙන් පසු  මෛත්‍රි ගන්නා කිසිදු පියවරක් මධ්‍යම කාරක සභාවෙන් පිටත කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. මහින්දට සාපේක්‍ෂකව පක්‍ෂ නායකයා ලෙස හෝ විධායක ජනාධිපති ලෙස  තීරණ ගැනීමට මෛත්‍රිට ඇති අයිතියට කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. ජූලි 16න් පසු නිර්මානයවූ දෙපරාදුව එයයි. මහින්ද නව වසරක් පාවිච්චි කළ ව්‍යවස්ථාපිත බලය හෝ අභිමතය මෛත්‍රිට දැන් පාවිච්චි කරමින් සිටිති.  
අද පවත්නේ 54 වසරක් වියපත් බණ්ඩාරනායකලා හැදූ වැඩූ හොරගොල්ලේ ශ්‍රීලනිපය නොවේ. මෛත්‍රිට ලැබුණේ  කුඩා දැරියන් සිය ගණන් කෙළෙසා කාම සාද පැවැත්වූ ප්‍රාදේශීය සභා කාරයන් රකින, මහින්ද චින්තනය විසින් බව්තිස්ම කළ මැදමුලන ශ්‍රීලනිපයයි. මහින්ද චින්තනය තමන්ට අවාසිදායක නම් ඡන්ද ප්‍රතිපලයක් හෝ පිළි නොගනිති. හෙළා දකිති. ජනවාරි 9 වෙනිදා “ඇයි සර් අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ....” කියා අනුගාමිකයන් අසන තරමට මහින්දගේ ශ්‍රීලනිපය පිරිහි තිබිණ. එහි  බන්ඩාරනායක අනන්‍යතාවය නොතිබිණ. මෙය විග්‍රයක් හෝ අනුමානයක් පමණක් නොවේ. 2015 ජනවාරි පරාජයට පසුව, ඩාර්ලි පාරේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මුල්ම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු යමක් පෙන්වා  මේ මොකදැයි විමසීය.  එස්.බී. දිසානායක ඊට පිළිතුරු දෙමින් කීවේ එහෙම වෙනවා කියාය. මාධ්‍ය වේදියා පෙන්වූයේ  දිගු කලකට පසුව, මාධ්‍ය සාකච්ඡාව පැවති  ශාලා බිත්තියෙහි බණ්ඩාරනායක වරුන්ගේ පින්තූර  පේලියයි. මෛත්‍රිට ලැබුණේ බණ්ඩාරනායකලාගේ රූප සහ නම් මැකූ දූෂිතයන් කිළිටි කළ අඩපනවූ පක්‍ෂයකි. මහින්ද සහ මෛත්‍රි  ශ්‍රීලනිපය මෙහෙයවන රටාව එකිනෙකට වෙනස්ය. පක්‍ෂ නායකත්වය පිරි නමා දැන් ඔහුට ද්‍රෝහියා කීම හැදිච්චකම නොවේ.
මෛත්‍රිගේ නායකත්වය ශ්‍රීලනිපයට ලැබුණ ලොතරැයියකි. මෛත්‍රිපාල රටේ විධායක ජනාධීපති කිරිමේ ගෞරවයෙන් දශම අරික්කාලක් ශ්‍රීලනිපයට හිමි නොවේ. ඔහුව තෝරා පත් කළ හැට දෙලක්‍ෂයක් ජනතාවගෙන් 90%ක් එක්සත් ජාතික පාක්‍ෂීකයන් විය හැකිය. එහෙත් මෛත්‍රි රටේ විධායක ජනාධිපති  කිරිමේ සකල ගෞරවය ලැබෙන්නේ නිර්පාක්‍ෂික සිවිල් සමාජ සංවිධාන වලටය. 2010 තරම් ඈතක සිට රටේ  පාලනය බිඳ වැටෙමින් තිබිණ. ඒ නිසා රටට නව පාලකයෙක් සමග පාලනයක්  අවශ්‍ය විය. ප්‍රශ්නය මහින්ද මිස, අනුප්‍රාප්තිකයා කවුද යන්න නොවේ. මහින්ද විසි වෙද්දී  ශ්‍රීලනිපයද  බිම ඇද වැටෙතියි කිසිවෙකු සිතුවේ නැත. එහෙත් සෝපාකගේ පිටේ බැඳී මළ කුණ මෙන් පරාජිත මහින්ද ශ්‍රීලනිපය අත් නොහැර බදාගෙන සිටියි. එම්ප්‍රදෝරු එජාපයෙහි පවා ප්‍රේමදාස කෙනෙකුට ඉඩක් තිබිණ. එහෙත් පොදු මිනිසාගේ ශ්‍රීලනිපයේ රට දිනූ මෛත්‍රිට ඉඩක් නො තිබුණ. පක්‍ෂයෙන් නො නික්මුණා නම් මෛත්‍රිට කිසි දිනෙක රටේ නායකත්වය ලැබෙන්නේ නැත. ජනාධිපති මෛත්‍රි හරහා සාමාන්‍ය මිනිසාට ශ්‍රීලනිපයේ දොර විවෘතව ඇත.
1951 සැප්තැම්බර් 2 වෙනිදා ශ්‍රීලනිපයත් සැප්තැම්බර් 3 වෙනිදා මෛත්‍රිත් බිහිවූ බව වාර්තාවේ.  පක්‍ෂයේ මහ ලේකම්ව සිටි ඔහු එක් රැයකදී පක්‍ෂයෙන් ඉවත් විය. ඊට පසුවදා මෛත්‍රි ශ්‍රීලනිපයෙන් නෙරපනු ලැබිය. මහින්දට එරෙහි බලවේග මහින්ද පළවා හැර මෛත්‍රි  රටේ ජනාධීපති කරවිය. මෛත්‍රි ජයගත් දවසට පසුදින (පරාජිතයන්ට පහර දීම්, ගෙවල් ගිනි තැබීම් ස්ත්‍රි දූෂණ රැකියා අහිමි විම් ආදි ...) බොහෝ දේ සිදු වීමට නියමිතව තිබිණ. බැසිල් රාජපක්‍ෂ ඇඹෙණිය සමග රටින් පැන ගියේ ඒ බව දැන සිටි නිසාය. ඔහු ගියේ  පක්‍ෂයට තබා මහින්දටවත් නො කියා රහසේය. එහෙත් බැසිල්ට වැරදිණ.  පැරදුණ කිසිවෙකුට නිය පිටින් කිසිවෙකු හෝ හිංසාවක් සිදු නොවීය. ඒ ආශ්චර්ය සිදුවුණේ ශ්‍රීලනිපයේ මෛත්‍රි පොදු අපේක්‍ෂකයා වූ නිසාය. අදටත් ජනවාරි සටන මෙහෙයවූ සමහර සිවිල් ක්‍රියාධරයන් මෛත්‍රිට වෛර කරති. ඒ අතේ හිරිහැර ජනවාරි ජයග්‍රහණය භුක්ති විඳීමට නොලැබුණ නිසාය.  අද මෛත්‍රිට එරෙහිව කැරළි ගසන්නෝ එදා ගුටි කෑමට නියමිතව සිටියහ. ජනවාරි 10 වෙනිදා මේ පිරිස් අමුඩ ගස්වා හන්දි ගානේ මෛත්‍රිගේ පින්තූරයට වැන්දුවා නම් ගෙවල් ගිනි තිබ්බා නම් මේ කිසිවෙක් කැරළි ගසන්නේ නැත. මේ මිනිස්සු පාරේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරින්ටද පහර දුන් අය වෙති. ඉන් එකෙකු පාසලකට පැන ගුරුවරියක දන ගැස්වීය. තව එකෙකු සුද්දෙක් මරා සුද්දියක දූෂණය කළ චණ්ඩියෙකි. හංසයාට ඡන්දෙ දුන් අය හිර ගෙදරදී හමු නොවීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.
මහින්ද එරෙහි බල වේගය මෙහෙයවූ සාධාරණත්ව සමාජයක් කරා ව්‍යාපාරයේ අරමුණ  විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර රටට යහ පාලනය උදා කිරිමය. ජනාධිපති ක්‍රමය අහොසි කිරීමට මුලින්ම ප්‍රතිඥා දුන්නේ ශ්‍රීලනිප නායකා සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිනිය යි. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත් මුදලි ආදි එජාප ජ්‍යෙෂ්ඨයෝද එදා ජනාධිපති ක්‍රමයට එරෙහිව මැතිනිය සමග වීදි බැස්සාහ. ඒ විශිෂ්ඨ අරමුණ සටන් පාඨයකට සීමා විය. 2015දී එය යථාර්ථයක් කරමින් 19 වෙනි සංශෝධනය සම්මත විය. අද විධායක ජනාධීපති උසාවි ගෙන යා හැකිය. ඔහුට තනි තීරණ ගත නො හැකිය. මැතිනිය සපත කළ ඒ ජනතා ප්‍රාර්ථනාව වෙනුවෙන් මහින්ද මෙහෙයවූ ශ්‍රීලනිපය කැප වුණේ නැත. මෛත්‍රි අද පෙනී සිටින්නේ ඒ ජාතික අවශ්‍යතාව වෙනුවෙනි.  අද යමෙක් මෛත්‍රිට ද්‍රෝහියා කියයි නම් ඔවුන් බණ්ඩාරනායක මැතිනියද, ඇන්. ඇම්. පෙරේරාද ගාමිණි දිසානායකද, ලලිත් ඇතුලත් මුදලිද ද්‍රෝහින් ලෙස නම් කළ යුතුවේ.  
17 වෙනි සංශෝධනය යටපත් කොට, 18 සංශෝධනයෙන්  ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළේද,  විධායක ජනාධිපති ධුර කාල සීමාව  ඉවත් කළේද, අග විනිසුරු වරිය පළවා හැරියේද, ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ ආදි මිනිස් ඝාතන යටපත් කළේද, ශ්‍රීලනිපය මහින්ද යටතේ පැවති සමයේය. මෛත්‍රිපාල  19 වෙනි සංශෝධනය හරහා විධායකයේ තටු කපා, යහ පාලනය සහතික කරමින්,  ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා,  අල්ලස් කොමිෂම සක්‍රිය කොට, විගණන පනතද, තොරතුරු දැන ගැනීමේ පනතද  නීතිගත කර හමාරය. ඉතිහාසය ඒ සිය`ථ ගෞරව මෛත්‍රිටත්  යහ පාලන පුරෝගාමින්ටත් මිස, ශ්‍රීලනිපයට හිමි නො කරනු ඇත.  එහෙත් මෛත්‍රි ශ්‍රීලනිපය ඉතිහාසයෙන් නිදහස් කර ඇත. අද යමෙක් මෛත්‍රිට ද්‍රෝහියා කියයි නම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද්‍රෝහීන්  වෙති.
බණඩාරනායක පවුලේ අර්බුද නිසා 1970-77 යුගයේද අද මෙන් පක්‍ෂය බෙදී තිබිණ.  අනුර බණ්ඩාරනායක ශ්‍රීලනිප තරුණ ජාතික සංවිධායක විය. ඔහු පොළොන්නරුවේ දිස්ත්‍රික් තරුණ සම්මේලනය කැඳවීම ගැන  අනුරට එරෙහි පොළොන්නරු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සිටියේ කෝපයෙනි. විසි දෙ හැවිරිදි මෛත්‍රිපාල සිරිසේන  අනුරත් ලීලාරත්න විජේසිංහත්  එකට වාඩි කරවීමට සමත් විය. සම්මේනලනයේ පිළිගැනීමේ කතාව කළ මෛත්‍රිට අනුර විරෝධී ශ්‍රීලනිප තරුණයන් එක දිගට හූ කීහ.  මෛත්‍රි කල්පනා කළේ පක්‍ෂයේ හෙට දවස ගැන පමණය. 1985 වසරේ දෙවන මුල්කිරිගල අතුරු මැතිවරණයට මැතිනිය චමල් රාජපක්‍ෂ නම් කළාය. අනුර පුතා   නිරූපමා යෝජනා කිරීමෙන් අවුලක් ඇති විය. මෛත්‍රි ඇතු`ථ මධ්‍යම කාරක සභාව වැඩි කැමැත්තෙන් චමල් තෝරා ගත්හ. පසු දින අනුර තම කාර්ය මණ්ඩලයෙන්  මෛත්‍රි නෙරපිය. පොළොන්නරුවේදී අනුර රැක්ක මෛත්‍රි 1985දී ශ්‍රීලනිපය රැක්කා මිස, අම්මලා පුතාලා පසුපස ගියේ නැත. 2004දී අගමැති ලෙස ජවිපෙය ලක්‍ෂමන් කදිර්ගාමර්, අනුර බණ්ඩාරනායක හා මෛත්‍රිපාල සිරිසේන පිළිවෙලින් නම් කළහ. ලැයිස්තුවේ තෙවැන්නාවූ  මෛත්‍රි මහින්ද රාජපක්‍ෂ අගමැති කළ යුතු බව කී  විට අනෙක් තිදෙනා මවිත විය. මෛත්‍රි ඉතිහාසය පුරා  ශ්‍රීලනිපය වෙනුවෙන් හරි තැනදී හරි දේ කළේය. ජනවාරියේ ඔහු ගත් තීන්දුව ඉතිහාසය නිවැරදි බව ලියා තබනු ඇත.
1985දී චමල් වෙනුවෙන්ද, 2004දී මහින්ද වෙනුවෙන්ද මෛත්‍රි බණ්ඩාරනායකලා සමග ගැටිණ. මේ කියන්නේ මෛත්‍රි රාජපක්‍ෂලා රැක්ක බව නොවේ. එහෙත් රාජපක්‍ෂලා රැකුණේ මෛත්‍රි නිසා බව ඉතිහාසය කියනු ඇත. 2015දී රට වෙනුවෙන් මෛත්‍රි  රාජපක්‍ෂලා සමග ගැටිණ. අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධිය.....? කියන්නේ මෛත්‍රි හරි තැනදී හරි දේ කරන බවය. දේශපාලනඥයෙකු ලෙස මෛත්‍රි කවදත් අපෞද්ගලික විය. එහෙව් මෛත්‍රිට සමහරු ද්‍රෝහියා කියති. කියවති. චන්ද්‍රිකාට පසුව, මහින්ද ජනාධීපති විය. වාසිය පක්‍ෂයට ලැබිණ. මහින්දට පසුව, මෛත්‍රි ජනාධීපති විය. මේ වාසිය ශ්‍රීලනිපයට අහිමි කරන්නේ කවුද? මේ ප්‍රශ්නය ගමේ පක්‍ෂ ශාඛාවේදී සකාච්ඡා කළ යුතුවේ.


Comments