අද තත්වය දැකල අනාගත ප්‍රවණතාවයක් ග්‍රහණය කරගන්න වික්‍රමසිංහ සමත් වුනා - ආරියසේන යූ. ගමගේ

syndicated from lankanewsweb,

අද තත්වය දැකල අනාගත ප්‍රවණතාවයක් ග්‍රහණය කරගන්න වික්‍රමසිංහ සමත් වුනා - ආරියසේන යූ. ගමගේ

වෛද්‍යවරයෙකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් ද සිංහල පාඨකයා අතර ප්‍රචලිත විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා සමඟ පසුගිය 23 වෙනිදාට යෙදී තිබූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වෙනි අනුස්මරණ දිනය අලළා ලංකා නිව්ස් වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සාකච්ඡාව පහත පළ වේ.
වික්‍රමසිංහ ශූරීණ් හඳුන්වනු ලැබූ අන්වර්ථ නාමය වන 'කොග්ගල මහා ප්‍රාඥයා' යන්න පිළිබඳව ඔබේ කියවීම කුමක්ද?
ඇත්තවශයෙන්ම පහතරට ගාල්ල ප්‍රදේශයේ ඉපදුන කෙනෙක් හැටියටත්, ඒ වගේම මමත් බද්දදේව ක්‍රිස්තු විද්‍යාලයේ ඉගෙන ගත් නිසාත්, මට ඇත්ත වශයෙන්ම ආඩම්බරයක් තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා වගේ කෙනෙක් ඒ ප්‍රදේශයේ බිහි වෙලා විවිධ කේෂ්ත්‍ර, ඒ කියන්නෙ සාහිත්‍යය පමණක් නෙමේ විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවන රටාව, ඒ කියන්නෙ ඒක බොහොම යථාර්ථවාදීව දකිමින් ජනතාවට දැනුමක් ලබා දීම. විශේෂයෙන්ම විද්‍යාව ඉගෙනගත් ශිෂ්‍යයයෙක් හැටියට  ඒ කාලේ මම දැකපු දෙයක් තමයි සිංහලෙන් විද්‍යාව උගැන්වීමට මූලික වෙච්ච තැනැත්තෙක් හැටියටත් මම ඇත්තටම ආඩම්බර වෙනවා එතුමා ගැන. මේ කොග්ගල ප්‍රාඥයා ඒ ප්‍රදේශයේ බිහි වීමත්..., ඒ වගේම මම කුඩා කාලයේ ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ ඉන්නකොට මට අවස්ථාව ලැබුණා එතුමාගේ අසූ වෙනි ජන්ම දිනය නිමිත්තෙන් පවත්වපු උත්සවයකට සහභාගී වීමටත්. එතුමා කොග්ගලට ගිහිල්ලා අපගේ සාහිත්‍යය සංගමයේ සාමාජිකයන් රැසක් මුණ ගැහුණා. ඇත්තවශයෙන් මම ආඩම්බර වෙනවා එතුමා ගැන විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ ඉපදුන කෙනෙක් හැටියට. 
 
වෛද්‍යවරයෙක් හැටියට වික්‍රමසිංහ ශූරීණ් විසින් රචනා කරන ලද විද්‍යාත්මක ග්‍රන්ථ සම්බන්ධයෙන් ඔබේ අදහස දැන ගැනීමට මා කැමතියි.
 
විශේෂයෙන්ම එතුමා විසින් ලියන ලද සත්ව සංහතිය කියන පොත මම කියවලා තියෙනවා. සිංහලෙන් විද්‍යාව ඉගෙන ගැනීමට පොත පත නැති කාලේ එතුමා විසින් තමයි ගමේ ඉන්න සිංහල පමණක් කියවන අයට විද්‍යාව ඉගෙන ගැනීමට මුල් වෙච්ච උගතුන්ගෙන් කෙනෙක්. ඇත්තවශයෙන්ම ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳව මම මුලින්ම කියෙව්වෙ එතුමාගේ එම සත්ව සංහතිය කියන පොතෙන්. ඒ නිසා මට හිතෙනවා එතුමා විසින් ලොකු අවශ්‍යතාවයන් ඉටුකර තිබුණා කියලා. ඒ කියන්නෙ මේ ලෝකය පිළිබඳව සත්‍යය. ඒ වගේම රුසියන් හා බටහිර රටවලින් ඒ කාලේ පිටවෙච්ච ඉංග්‍රීසි පොත් පත් කියවලා ඒවායින් ලබා ගත් දැනුම ඒ කාලයේදී අපේ රටේ ජනතාවට විද්‍යාත්මක දැනුම ලබා දීමට එතුමා මුල් වුණා. අදිකාරම් වැනි උගතුන් වගේ එතුමත් සාහිත්‍යකරුවෙක් ලෙස ඒ තරම් දැන උගත්, අදිකාරම්තුමා වගේ විෂයන් ඉගෙනගත් කෙනෙක් නොවුණත් මං හිතන්නෙ ඒ පොත් පත් කියවලා ඒ ලබා ගත් දැනුමෙන් එතුමා ඉතාම උද්දාමයට පත් වෙලා සෑහීමකට පත් වෙලා මේ අපේ රටේ පොදු ජනතාව වෙනුවෙන් මේ දැනුම ලබා දීමට එතුමා උනන්දු වුණා කියලා මට හිතෙනවා. 
 
ඔබ දකින විඳියට වික්‍රමසිංහ ශූරීණ් ගේ දේශපාලන දෘශ්ටිවාදය කවරාකාරයේ එකක්ද?
 
ඇත්තවශයෙන්ම එතුමා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක් නෙමෙයි. මම එක දෙයක් දැකලා තියෙනවා විශේෂයෙන්ම අද විවාදයට පත් වෙලා තියෙන සමහර මාතෘකා සම්බන්ධයෙන් යළි ඉපදීම පිළිබඳව මතු වෙච්ච කතාවල්,  අපේ රටේ නොයෙකුත් ආකාරයෙන් උදාහරණ ඇති වුණා පහුගිය කාලේ. කලින් ආත්මය ගැන කතා කරන දේවල්. මේ පිළිබඳව එතුමන් උනන්දුවක් දක්වපු බවක් පෙනෙන්න තිබුණා. එතුමා පුනරුත්පත්තිය වෙනුවට පුනර්භවය කියන සන්කල්පයක් ඉදිරිපත් කළා. ඉතිං මේකෙන් පේනවා ඔහු මධ්‍යස්ථ ස්ථානයක හිටියා කියලා. විවිධ අය දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර දරණ ආකාරය පිළිබඳව එතුමා කිසියම් අධ්‍යයනයක හිටියා. එතුමා විශේෂයෙන්ම සමාජවාදී පැත්තට නැතිනම් සමාජ සාධාරණය, හැම මිනිසෙකුට සමාන අයිතිවාසිකම් කියන ස්ථාවරයේ හිටියා කියලා මට කියන්න පුළුවන්. 
 
ඔබ කිසියම් හෝ දිනෙක වික්‍රමසිංහ ශූරීණ් සමඟ කතා බස් කොට තිබෙන්නේද?
 
ඇත්තවශයෙන්ම එතුමාගේ අසූ වෙනි ඡන්ම දිනයේදී මමත් අප අතරින් වියෝ වුණ පුවත් පත් කලාවේදියෙකු වෙන ජයනාත් ගුණවර්ධනත්, මෑතකදී අභාවප්ප්‍රාප්ත වුණ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාගේ පුත්‍රයා ගාමිණී ගුණසේකර කියන මගේ මිත්‍රයාත්, ඔහු කාලයකදි ගාල්ලේ සර්ව සුභද්‍ර නමින් පැවදි වුණා. උන්වහන්සේ අපවත් වුණා මීට මාස කීපයකට ඉහතදි. අපි තුන් දෙනා එතුමා හමු වෙන්න ගියා. මට එදා කතා කරපු විෂයන් පිළිබඳව ලොකු මතකයක් නෑ. නමුත් මට මතකයි පුනරුත්පත්තිය පිළිබඳව එතුමාගෙන් ඇහුවම එතුමා කිව්වා ‘නෑ නෑ පුතා මම ඒ කතා කරන්නෙ පුනර්භවය පිළිබඳව‘ කියලා. මට ඒ විස්තරය හරියටම මතක නෑ. ඇත්තවශයෙන්ම මට භාග්‍යයක් ලැබුණා එතුමා හමු වෙලා එතුමා සමඟ කතා කරන්න. මට මතකයි එදා සාහිත්‍යධරයන් රාශියක් එකතු වෙලා රැස්වීමක් පැවැත්වූවා. ගුණදාස අමරසේකරත් එදා ඒකට සහභාගී වුණා. 
 
වික්‍රමසිංහ ශූරීණ් දැරූ බෞද්ධ මතවාදය සම්බන්ධයෙන් වගේම විඤ්ඤාණවාදී අදහස් වන පුනරුත්පත්තිය වැනි දේවල් සම්බන්ධයෙනුත් වික්‍රමසිංහයන්ගේ කියවීම ගැන ඔබ මොකද හිතන්නෙ?
 
මට හිතෙනවා ඔහු මේ පිළිබඳව ලිහිල්ව කතා කළේ කියල. එතුමාගේ හිතේ තිබුණ දේ බොහොම යථාර්ථවාදීව කතා කරන්න එතුමාගේ පොඩි පැකිලීමක් තිබුණා. මොකද ඒබ්‍රහම් ටී. කොවුර් විද්‍යාත්මකව දේවල් බැලීමේ කටයුතු කරගෙන ගියා. ඒ වගේම තවත් කොටසක් විඤ්ඤාණවාදී පැත්තෙ හිටියා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ. ජයතිලක වැනි අය. නමුත් මම දැකපු විඳියට වික්‍රමසිංහ මැතිතුමා හිටියෙ මහාචාර්ය සරච්චන්ද්‍රයන් හිටපු තැන. එවැනි දේවල් වලදි එතුමාත් මධ්‍යස්ථ මතයක හිටියා. ඒ නිසා ඒ ආකාරයට මිනිසෙක් මිය ගිහිල්ලා තවත් තැනක ඉපදෙනවා කියන කාරණය පුනර්භවය කියන සන්කල්පය හරහා තමා එතුමා ඉදිරිපත් කළේ. ඒක නිසා මට හිතෙනවා ඔහු විද්‍යාත්මක දැනුම තිබුණා වගේම එය සොයා ගෙන ගියා කියල. නමුත් පුනරුත්පත්තිය වැනි විෂයන් පිළීබඳව එතුමා හිටියේ අපේ සමාජයේ තිබ්බ බුද්ධාගමත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක එකතු වෙලා එහෙම නැවත ඉපදීමක් නැතැයි කියන ස්ථාවරයේ නැතුව අපේ සමාජයේ පොදු පිළිගැනීමත් එක්ක එතුමා හිටියා කියලා මට කියන්න පුළුවන්. 
 
නිර්මාණාත්මක ලේඛකයෙක් හැටියට වික්‍රමසිංහයන් ඔබේ හදවතට සමීප වන්නේ කෙසේද?
 
ඇත්තවශයෙන්ම එතුමාගෙ මම දැකපු එක දෙයක් තමයි එතුමා තුන් කල් දැකපු ප්‍රාඥයෙක් හැටියට හැදින්වීම. අද සමාජයේ තියෙන තත්වය දිහා අධ්‍යයනය කරලා ඒ අනුව අනාගත ප්‍රවණතාවයන් ග්‍රහණය කරගන්න එතුමාට හැකියාව තිබුණා. ඒ වගේම උපකල්පනයන් කරන්න. ඉතිං ඒක තුළ එතුමාට හොඳ නිර්මාණශීලීභාවයක් තිබුණා. නමුත් එතුමාට අළුත්ම ආකාරයේ නිර්මාණ කිරීමට හැකියාවක් තිබුණාද කියන එක නම් මට සැක සහිතයි. 
 
ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් කරන්න ඔබට පුළුවන්ද?
 
මෙහෙමයි. එතුමා පවතින යථාර්ථය අවබෝධ කිරීම මිස යමක් ඉදිරිපත් කිරීමේදී අළුත් ආකාරයට අමුතු නිර්මාණශීලීත්වයක් ඉදිරිපත් කළා කියන්න අමාරුයි. නමුත් පවතින තත්වයයන් ඉතාමත් හොඳින් පැහැදිළි කිරීම එතුමා අතින් සිදු වුණා කියලා මට හිතෙනවා. 
 
මගේ අවසාන ප්‍රශ්නය තමයි වික්‍රමසිංහයන් නැවත කියවීම අදට සාපේක්ෂව වැදගත් වන්නේ කොයි විඳියටද කියලා ඔබෙන් දැනගන්න.
 
මං හිතන්නෙ ඇත්තවශයෙන්ම එතුමානන් වගේ කෙනෙක්, එතුමාගෙන් ආදර්ශ ගැනීමට අද නිර්මාණකරණයේ යෙදෙන අය හා සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් ඇති අය පෙළඹිය යුතුයි කියලා. දැන් එක මතයක් තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මහතා බිය වුණා කියලා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල වලින් ඉදිරියට ඇවිත් බිහි වුණ සාහිත්‍යකරුවන් ගේ නිර්මාණශීලීත්වය පිළිබඳව එතුමා බියක් දැක්වුවා කියලා. උදාහරණයක් විඳියට සිරි ගුණසිංහ මැතිතුමා ඒ අදහස කියලා තියෙනවා. කොහොම වුණත් මං හිතනවා යම් කිසි දෙයක් පිළිබඳව යථාර්ථවාදී විඳියට බලලා සමාජවිද්‍යාත්මක ඇසින් සමාජය දිහා බලලා කටයුතු කරන්න වික්‍රමසිංහ මහතාගෙන් අපට හොඳ මඟ පෙන්වීමක් ලැබුණා කියලා.
 
සාකච්ඡා කළේ 
බාසුරු ජයවර්ධන


Comments