ජනාධිපති මෛත්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ තවත් වාර්තාවක් තබයි..

Syndicated from lankaenews,

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අද වාර්තාවක් තැබීය. ඒ නම් ජනාධිපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් වන අය වැය විවාදයකදී ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ එකී විවාදයට සහභාගී වෙමිනි. මීට ඉහත ශ්‍රී ලංකාවේ සිටි කිසිදු ජනාධිපතිවරයෙකු මෙම අවස්ථාවට සහභාගී වී නැත. 
සිරිසේන මහතා මෙයින් පෙන්නුම් කරන ලද්දේ තමා ජනාධිපතිවරයා වුවද පාර්ලිමේන්තුවට බලතල පැවරීමට තමා තුල ඇති කැමැත්ත සහ පාර්ලිමේන්තුව බලාත්මක කළ යුතුය යන්න විය යුතුය.
තම කතාවේදීද ඔහු යලි යලිත් කියා සිටියේ තමා පෞද්ගලිකව දකින්නේ ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට පැවරීම යන්න දැඩි ලෙස විශ්වාස කරන බවයි. මේ සඳහා ඉදිරියේදී කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගේ සහයෝගය තමා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. 
තමා රාජපක්ෂ යුගයේදී මෙන් 280 ක් යා හැකි ගුවන් යානයේ 280 ක්ම රැගෙන පිටරට සංචාර වලට ගෙන ගොස් දින 3-4 යානය තබාගෙන මුදල් විනාශ නොකළ බවත් තමා සමග නොයන්නේ නම් දරුවන්ට හෝ බිරිඳට හෙලිකොප්ටර් භාවිතාවට  ඉඩ දී නැති බවත් කී ජනාධිපතිවරයා රාජපක්ෂ යුගයේදී මල් වඩමෙන් පවා ගසා කා ඇතැයිද පැවසීය. රාජපක්ෂ යුගයේදී ශෝකය ප්‍රකාශ කිරීම් වල වසරක වියදම රුපියල් මිලියන ගණනාවක් බව ඊට පෙර අගමැතිවරයා හෙලි කෙළේය. (එම කතාව වෙනත් තැනෙක ඇත) 
ජනාධිපතිවරයාගේ මෙම වාර්තා ගත කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ. 
“2016 ඉදිරි වසර සඳහා අය වැය යෝජනා සාකච්ඡාවෙමින් සම්මතවන අවස්ථාවක ජනාධිපති වැය ශිර්ෂය සහ කිසියම් අමාත්‍යාංශයකට අයත් නොවන ආයතනවල අය වැය සම්බන්ධයෙනුත් සාකච්ඡා කරන අද දවසේ ඉතා කෙටියෙන් කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.
පසුගිය ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාවගේ වරමෙන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ සංවිධාන 47 ක ආශිර්වාදයෙන් සංවිධාන වශයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය නොවුණත් ශී‍්‍ර ලංකා නිදහස පාක්ෂිකයින් සියයට 10, 15 ක දෙනාගේ ආශිර්වාදයෙන් මම ජනාධිපති ධූරයට පත් වුණා. ඉන් අනතුරුව මේ රටේ අනාගතය සඳහා කරන ලද වෙනස්කම්වලදී ආණ්ඩුවේ දැක්ම සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පැහැදිළි අවබෝධයකින්, ඒවගේම ඉතාමත් පවිත‍්‍රශීලි, නිර්මල අධිෂ්ඨානශීලි භාවයකින් කටයුතු කරන අවස්ථාවක් ලෙස මෙය සළකන්න පුළුවන්.
පසුගිය ජනවාරි 08 වෙනිදා මම මේ රටේ ජනාධිපති ධුරයට පත් කර ගන්නා විට ජනතාවට දුන්න ප‍්‍රධාන පොරොන්දුව තමයි විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීම, ඉවත් කිරීම එසේ නැත්නම් තනතුරේ බලතල සම්පුර්ණයෙන් අහෝසි කිරිම පිළිබඳව. පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ 19 වන සංශෝධනය තුළ බලාපොරොත්තු වූ යෝජනා අපි සකස් කරල ඉදිරිපත් කළත් ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ධූරයේ බලතල ඉවත් කළ හැකි ප‍්‍රමාණය මෙපමණයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය දැණුම් දුන්නා. ඒ අනුව මේ ගරු පාරිලිමේන්තුව, උත්තරීතර සභාව කළහැකි උපරිම ලෙස ඒ කාර්යය ඉටු කරනු ලැබුවා.
2010 සිට 2015 දක්වා පැවති පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පැවතී පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තිබුණා එදා පැවති මම නියෝජනය කළ ආණ්ඩුවට. එදා ඒ 2/3 ක බලයක් අවශ්‍ය කිසියම්ම ජනතාවාදී පනතක් ඒ අවුරුදු 05 තුළ එම පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ 2/3 ක බලය පාවිච්චි වුණේ 18 වන සංශෝධනය තුළ ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ලෝකයේ වෙනත් කිසියම්ම රාජ්‍ය නායකයෙකුට නොමැති ආකාරයෙන් තවත් ශක්තිමත් කර ගැනීම සඳහායි. නමුත් අපි ඉතාමත්ම සතුටු වෙනවා ඒ පාර්ලිමේන්තුව තුළම පුළුවන්කම ලැබුණා 19 වන සංශෝධනය සම්මත කරලා ජනාධිපතිවරයා සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් අනුව කළහැකි උපරිම ලෙස බෙදා දීමට අවශ්‍ය කටයුතු කිරීමට. ඒ තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහතික කිරීමක් පැහැදිලිවම සිද්ධ වුණා.
ගරු කථානායකතුමනි, වසර 40 කට වැඩි කාලයක් දේශපාලන ක්ෂේත‍්‍රයේත්, මාධ්‍ය තුළත්, පොදු ජනතාව තුළත් දැඩි ලෙස සාකච්ඡුාවට බඳුන් වුණා ස්වාධින මැතිවරණ කොමිසන් සභාවක් පිළිබඳව. ඒ අවුරුදු 40 කට වැඩි කාලයක් පොදු ජනතාවගේත්, දේශපාලන ක්ෂේත‍්‍රයේත් ඉල්ලීම මීට පෙර කිසියම් ආණ්ඩුවකට ඉෂ්ට කළ නොහැකි වුවත් මීට සති 03 කට පෙර අපට පුළුවන්කම ලැබුණා සම්මත කරගන්නා ලද 19 වන සංශෝධනය තුළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන්නට. එය මේ රටේ ජනතාවගේ නිදහස් ඡන්ද බලයේ ඉතාම විශිෂ්ට ජයග‍්‍රහණයක් විදිහටයි අපි දකින්නේ
මැතිවරණ දුෂණ පිළිබඳව, මැතිවරණ අක‍්‍රමිකතා පිළිබඳව, මැතිවරණවලදි සිදුවන බරපතළ නීති විරෝධි කි‍්‍රයා පිළිබඳව අපි දන්නවා ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඉතිහාසයේ කළු ලප තිබෙනවා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඇතැම් මැතිවරණවලදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අපකීර්තියක් තිබෙනවා. නමුත් එවැනි අත්දැකීම් තුළත් කිරීමට නොහැකි වූ මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම අපි මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළා වගේම සිදු කළා. අවුරුදු 40 කට වැඩි කාලයක් මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් ඉෂ්ට කළා වගේම අපිට රටටත්, ලෝකයටත්, ජාත්‍යන්තරයටත් පැහැදිළිවම කියන්න පුළුවන්කම ලැබෙනවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම තුළ මේ රටේ ජනතාවගේ ඡුන්ද බලය නිදහස් හා සාධාරණ ලෙස සහතික කිරීමේ ඒ ඓතිහාසික කාර්ය භාරය අපේ ආණ්ඩුව තුළ ඉටු කළා කියන කාරණය.
මැතිවරණ කොමිෂන් සභාව වගේම අනෙක් කොමිෂන් සභා 09 ක් අපි මේ වන විට පිහිටුවලා තිබෙනවා. ඒ කොමිෂන් සභා තුළ ස්වාධිනව කෙරෙන්නා වූ කාර්යයන් අපි සහතික කරලා තිබෙනවා. අධිකරණ ක්ෂේත‍්‍රයේ තිබු තත්ත්වය පැහැදිළි කිරීම අවශ්‍ය වන්නේ නැහැ ගරු කථානායකතුමනි, අද අධිකරණ ක්ෂේත‍්‍රයේ තිබෙන ස්වාධීන තත්ත්වය පිළිබඳ අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන අයගේත්, මේ රටේ පොදු මහජනතාව තුළත් ඉතාමත් පැහැදීමක් තිබෙනවා දේශපාලන බලපෑමකින් තොරව අධීකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරගෙන යාමට ලැබීම පිළිබඳව.
අපිට රටක් වශයෙන් ශ්‍රේෂ්ඨ ලෙස නැගී සිටීමටත් ලෝකයේ ජාතීන් අතර ප‍්‍රබල ජාතියක් ලෙස ශී‍්‍ර ලාංකිකයින් ගොඩනඟන්නත්, ලෝකයේ වඩාත් සංවර්ධනය වෙමින් දියුණුවන රටවල් සමඟ තරගකාරී ලෙස කරට කර ඉදිරියට යන්නත් මේ විශ්ව සමාජය තුළ ශී‍්‍ර ලාංකික ජනතාවගේත් හෙට උපදින දරුවන්ගේත් අනාගතය සඳහා හොඳ රටක් ගොඩනඟන්න, සුබවාදී රටක් ගොඩනගන්න, ජාතික වශයෙන් තිබෙන වගකීම් ඉෂ්ට කරන්න, මුළු මහත් ශී‍්‍ර ලාංකික ජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය අපට අවශ්‍යයි වගේම ජාත්‍යන්තර සහයෝගය ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා.
පසුගිය කාලය තුළ අපට තිබූ ප‍්‍රශ්ණය තමයි අපි රට ගොඩනගන්න ඉදිරියට යාමේදී ජාත්‍යන්තර වශයෙන් අතිවී තිබු බෙදීම. අපි නිසා ලෝකය බෙදුනා. අපි නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙදුනා. අපි නිසා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව බෙදුනා. අපිට සිටි දීර්ඝකාලීන මිත‍්‍රයින් අපෙන් ඈත් වුණා. අපේ රටේ සංවර්ධනයට අත දුන්න අපි වෙනුවෙන් කථා කළ, අපි වෙනුවෙන් පෙනී සිටි අපේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදුන් ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් සහ ප‍්‍රබල ජාතින් අපෙන් වෙන් වුණා.
නමුත් ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුළ අපේ පෞද්ගලිකත්වය තුළ නොව අපේ ප‍්‍රතිපත්තිය. අපේ වැඩපිළිවෙල, අපේ දැක්ම තුළ ගරු කථානායකතුමනි, අපිට රටක් විදිහට පසුගිය දශකයේ තිබූ තත්ත්වය හා සංසන්ධනය කරන විට අද ලෝකයේ කිසිදු වාද බේදයකින් තොරව, කිසිදු සතුරු කඳවුරක් නොමැතිව, කිසිදු සතුරු රාජ්‍යයක් නොමැතිව, කිසිදු ජාත්‍යන්තර සතුරු සංවිධානයක් නොමැතිව සියලූ ජාත්‍යන්තර සංවිධාන තුළ සහ සියලූ රාජ්‍යයන්ගේ අවංක මිත‍්‍රයෙක් ලෙස අපිව අද පිළිගැනීම ජාත්‍යන්තරය තුළ ඉතාම පැහැදිළිව පෙනී යන කාරණයක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපි නියෝජනය කළ අවස්ථාවේ රාජ්‍ය නායකයින් අප වෙත දැක්වු මිත‍්‍රශීලි භාවය, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ අප වෙත දැක්වූ මිත‍්‍රශිලිභාවය ඉතා ඉහළයි. විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නායකත්වය ගන්නා මහා බි‍්‍රතාන්‍ය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල නායකයින් ලංකාවේ රාජ්‍ය නායකයෙකුට පසුගිය කාලය තුළ මුණ ගැසීමේ අවස්ථාව සඳහා ඉඩ කඩ ඇහිරිලා තිබුණේ. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සහභාගී වූ අවස්ථාවේ පැය කිහිපයක් තුළ මට පුළුවන්කම ලැබුණා ඒ ප‍්‍රධාන රාජ්‍යයන් තුනේම නායකයින් හමු වෙලා මිත‍්‍රශීලි සබඳතාවයන් ශක්තිමත් කර ගැනීමට.
ඒ වගේම පසුගිය සතියේ මම සහභාගී වු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ සමුළුවේ අරමුණු ඉෂ්ට කර ගැනීමට අපි ශී‍්‍ර ලංකා රජය විදිහට පෙනී සිටියා වගේම අපේ මතය, අපේ වැඩපිළිවෙල සහ අපේ දැක්ම ඉදිරිපත් කළා වගේම එහිදී රාජ්‍ය නායකයින් ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයා විදිහට, මේ රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් මා වෙත දැක්වූ කෘතඥතාවය, සෙනෙහස, මිත‍්‍රශිලිභාවය ඉතා යහපත්.
බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන් මැතිතුමා සමඟ සාකච්ඡුා කළ අවස්ථාවේ මම ප‍්‍රධාන වශයෙන්ම කියා සිටියා අපේ ධීවර ප‍්‍රශ්ණය පිළිබඳව, ඒ වගේම ඍජු ප‍්‍රශ්ණය, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිළිව සඳහන් කළා යුරෝපා සංගමය සමඟ එම ධීවර කටයුුතු පිළිබඳ තිබෙන ප‍්‍රශ්ණය ඉතා කඩිනමින් අවසන් කිරීම සඳහා එතුමා මැදිහත් වෙනවා කියලා. ඒ වගේම අපේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහතික කරමින් ආණ්ඩුවක් විදිහට කටයුතු කරන වෙලාවේ අපේ රට දියුණු කිරීමට අපට ආර්ථික ආධාර අවශ්‍යයි කියන එක මම සඳහන් කළා. එහිදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිළිව ප‍්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් තිබෙන බිලයන 06 ක අරමුදල තුළ අපට ආධාර කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා කියන එක.
ගරු කථානායකතුමනි. අපි අසුබවාදී විදිහට සියලූදේ ගැන හිතන්නේ නැතුව, අසුබවාදී කණ්නාඩියකින් සෑමවිටම බලන්නේ නැතිව රටක් විදිහට රටේ අනාගතය සඳහා අපි බැඳීය යුතු වෙනවා ඉතාමත් සුබවාදි ආකල්ප සමඟ.
මේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්ණයක්ව තිබූ දීර්ඝකාලීන යුද්ධය අවසන්වීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළ කළයුතු කාර්යයන් සහ වගකීම් අපි නිසි ලෙස ඉටු නොකළ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට නව ආණ්ඩුවක් විදිහට ගතහැකි කි‍්‍රයාමාර්ග ගැනීමේදී මේ රට තුළ සිටින සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඒ සියලූම ජාතින් අතර ජාතික සංහිඳීයාව, මිත‍්‍රත්වය, සහෝදරත්වය ඇති කිරීම සඳහා අපි ආණ්ඩුවක් විදිහට පූර්ණ කැපවීම කරනවා කියන එක පැහැදිළිව ප‍්‍රකාශ කරන්න ඕන.
විශේෂයෙන්ම උතුරේ සහ දකුණේ ජනතාව අතරේ අවිශ්වාසය තුරන් කිරීම, සැකය දුරු කිරීම, මිත‍්‍රශීලි භාවය ඇති කිරීම, හදවත් හඳුනා ගැනීම ආගමික වශයෙන්, භාෂා වශයෙන්, ජාතින් වශයෙන් අපේ තිබෙන සංස්කෘතික තත්ත්වයන් තේරුම් අරගෙන රටක් විදිහට ඉදිරියට යන්නට සහෝදරත්වයෙන් ඒ සියලූ දෙනා සමඟ කටයුතු කිරීමේ වැදගත්කම ඉතා පැහැදිළිව අවධාරණය කරමින් ඒ සඳහා අවශ්‍ය සියලූ විසඳුම් අපේ රට තුළත්, ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි ආශිර්වාදය තුළ ඉටු කිරීමට පැහැදිළිවම කැපවෙනවා කියන එක ඉතාම පැහැදිළි ලෙස මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත්, මමත් ඒ වගේම ආණ්ඩු පක්ෂය විදිහට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනෙක් සහෝදර මිත‍්‍රශීලි දේශපාලන පක්ෂත් කරන සියලූ කටයුතුවලදී විපක්ෂය විදිහට පෙනී සිටින සියලූම ගරු සහෝදර මන්ති‍්‍රවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපි රටක් විදිහට මේ ගෙන යන වැඩපිළිවෙලට ඔබේ අවංක ආශිර්වාදය සහ සහයෝගය අපට ලබාදෙන්න කියන එක.
ප‍්‍රධාන වශයෙන්ම ජනාධිපති ධූරයේ බලතල ඉවත් කිරීම සඳහා ඉදිරියේදී නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරමින් ඒ සඳහා ගත හැකි සියලූ කි‍්‍රයාමාර්ග ගනිමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා මේ රටේ ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයන්ගේ තිබෙන චරිත ලක්ෂණ එක්ක ඇතිවන බලපෑම්, මෙහයවීම් රාජ්‍ය පරිපාලනයේ කළමණාකරනය ඒවා පිළිබඳ දිය හැකි එකම විසඳුම ලෙස අපි දකින්නේත්, මම පෞද්ගලිකව දකින්නේත් ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට පැවරීම කියන එක මම දැඩි ලෙස විශ්වාස කරනවා. මේ සඳහා ඉදිරියේදී කටයුතු කිරීමේදී තමුන්නාන්සේලා සියලූදෙනාගේ සහයෝගය මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති ධූරයේ කටයුතු කර අවුරුද්දක් සම්පූර්ණවීමට තව මාසයයි තිබෙන්නේ, ප‍්‍රධාන වශයෙන්ම මම පැහැදිළි කරන්න ඕන ගරු අගමැතිතුමා ජනාධිපති කාර්යාලයේ වියදම් ඇස්මතමේන්තුව ඉදිරිපත්කරමින් කරමින් ඒ පිළිබඳ සඳහන් කළා. මම ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම ගරු කථානායකතුමනි මම කියන්න ඕන, මැතිවරණයට පෙර මම දුන්න පොරොන්දුව මත මේ දක්වා කටයුතු කිරීමේදී විදේශ සංචාරවලදි මීට පෙර තිබූ ඒ පූර්වාදර්ශය අපි සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරලා මගේ විදේශ සංචාරවලදී ඉතා සීමිත පිරිසක් තමයි නියෝජනය වුණේ, ශී‍්‍ර ලංකන් ගුවන් යානා සම්පූර්ණයෙන් අරන් මම ගමන් ගියේ නැහැ. ශී‍්‍ර ලංකන් ගුවන් යානා මම ගෙනිහිල්ලා ඒහෙ තියාගෙන හිටියේ නැහැ. සම්පූර්ණ වාර්තා තිබෙනවා, මේවා රහසක් නෙවෙයි. 280 ක් යන්න පුළුවන් ශී‍්‍ර ලංකන් ගුවන් යානයේ සම්පූර්ණයෙන් 280 පුරවාගෙන ගිහිල්ලා ඒ ගුවන් යානා දින 3,4 තියාගෙන ඉදලා මේ රටේ ආර්ථිකයට කරන ලද එම බලපෑම් පිලිබඳව අපි ඇත්තටම කණගාටු වෙන්නට ඕන.
ඒ වගේම හෙලිකොප්ටර් පාවිච්චි කිරීමේදී මම මැතිවරණයට පෙර පැහැදිළිවම කිව්වා මම යන නිල ගමනක් හැරෙන්නට, මගේ බිරිඳ හෝ දරුවන් වෙනුවෙන් ඒවා ගෙනියන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා. මම අද වන විටත් සත්‍ය ලෙසම එය ඉෂ්ට කරලා තිබෙනවා. ඉදිරියේදීත් මම එය ඒ ලෙසම ඉටු කරනවා.
ගුවන් යානා පාවිච්චි කිරිම තුළ පසුගිය දශකය ගත් විට රටේ ආර්ථිකයට ඇතිවී තිබෙන බලපෑම, ඒ වගේම හෙලිකොප්ටර් පාවිච්චි කිරීමේදී වාර්ෂිකව කර තිබෙන වැය කිරීම් මම මේවායේ ගණන්, මිණුම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අසීමිත තත්ත්වය රටේ ජාතික ආර්ථිකයට උසුළන්නට බැරි ආකාරයට තමයි සිද්ධ වෙලා තිබුණේ. එම තත්වයන් අපි වෙනස් කරලා තිබෙනවා. ඒ ආදර්ශය දීලා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 1700 ක් හිටපු එක අපි 700 කට අඩු කරලා තිබෙනවා. අගමැතිතුමා කියපු විදිහට වාහන අනෙකුත් රජයේ ආයතනවලට බෙදා හැරලා තිබෙනවා. වියදම් අඩු කරලා තිබෙනවා. අවමංගල්‍ය උත්සවවලට ශෝකය ප‍්‍රකාශ කිරීමත් ඒ කටයුතු කරන ලද කාර්ය මණ්ඩලවල පිරිස් ගසා කෑමක් විදිහටයි පාවිච්චි කරලා තිබෙන්නේ. මල් වඩමිනුත් ගසා කාලා තිබෙනවා. නමුත් අපි ඒ තත්ත්වය වෙනස් කළා. මම මේවා සම්බන්ධයෙන් කිසිසේත් හිටපු ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. නමුත් ඒ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේදී ඔවුන් කරන්නේ කුමක්ද, කළේ කුමක්ද, කළේ මෙනවාද කියන එක සොයා නොබැලීම නිසා ඒ විදිහට අවමංගල්‍යයට දෙන මල් වඩමිනුත් ගසා කාපු යුගයක් අපි අවසන් කළා කියන එක සඳහන් කරන්න ඕන.
දේශපාලන වශයෙන් පවිත‍්‍රතාවයකින්, අවංක අධිෂ්ඨානශීලි භාවයකින් බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතින් අතර මිත‍්‍රත්වය සහයෝගය ගොඩනඟමින්, ජාතික සංහිඳීයා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේදී මේ රටේ යුද්ධයක් ඇතිවීම වළක්වමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩ නඟන්න මුළු මහත් ශී‍්‍ර ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඒ වගකීම සහ යුතුකම අපි අවංකව ඉෂ්ට කරන බව ප‍්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.“

Comments