ආලෝකය අතහැර අඳුරට යෑම

   Syndicated from ravaya,

ivan 

වික්ටර් අයිවන්

මේ ආණ්ඩුව ඉක්මනින් අසාර්ථක වෙතොත් මහ ජනයාගේ මතභේදයට හේතුවන දේවලදී මහජනයාට අවබෝධයක් ලබාදීමෙන් තොරව ඒවා ක‍්‍රියාත්මක කරන පිළිවෙතක් අනුගමනය කිරීම එම අසාර්ථකභාවය කෙරෙහි බලපාන ප‍්‍රධාන හේතුවක් ලෙස ක‍්‍රියාකරනු ඇතැයි කිවහැකිය. ඕනෑම සමාජයක ඉතා හොඳ වෙනසක් සඳහා ක‍්‍රියාකරන අවස්ථාවලදී පවා අනවබෝධය නිසා ඇති කරන්නට යන වෙනස්කම්වලට බලවත් ලෙස විරුද්ධ වන පිරිසක් සිටින්නේය. ඇති කරන්නට යන වෙනස්කම් කොතරම් යහපත් වුවද අනවබෝධය නිසා හෝ මහජනයා ඒවාට බලවත් ලෙස විරුද්ධ වේ නම් මහජනයාගේ විරෝධය නොසලකා ඒවා ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දරන පිළිවෙතක් විනාශකාරී ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකිය. මේ තත්ත්වය මහජන දේශපාලන තලයේ පමණක් නොව නිවසක හෝ වැඩපළක කරන දේකදී පවා ඇතිවිය හැකිය.

එවැනි අවස්ථාවකදී කළයුතු හරි දේ අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමෙන් වැළකී සිටීම නොව වෙනස්කම්වල විරුද්ධවන්නන්ට ඉවසීමෙන් කරුණු කියාදී ඔවුන්ගේ පක්ෂපාතීත්වය දිනාගනිමින් ඔවුන්ගේද සහයෝගය ඇතිව එම වෙනස්කම් ක‍්‍රියාත්මක කිරීමය.

අඳුරේ අතපත ගෑම

තමන් කරන්නට යන වෙනස්කම් පිළිබඳව මහජනයා දැනුවත් නොකිරීම මේ ආණ්ඩුවට ආවේණික ලොකුම දුර්වල ලක්ෂණය ලෙස සැලකිය හැකිය. මේ ආණ්ඩුව සැලකිය හැක්කේ සමාජ-දේශපාලන ක‍්‍රමයේ මූලික පරිවර්තනයක් සඳහා බිහිවී තිබෙන ආණ්ඩුවක් වශයෙනි. එවැනි ආණ්ඩුවකට තමන් කරන්නට යන පරිවර්තන ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. එම පරිවර්තන වැඩසටහන සඳහා ආණ්ඩුව අභ්‍යන්තරයේ පොදු එකඟතාවක් තිබිය යුතුය. පරිවර්තන වැඩසටහන ගැන මහජනයාට කියාදී ඒ සඳහා මහජනයාගේ සහාය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. ආණ්ඩුවේ නායකයන් දෙපළට තමන් කරන්නට යන පරිවර්තන වැඩසටහන ගැන අවබෝධයක් තිබෙනවා විය හැකිය. එහෙත් අන් සියල්ලට පෙර ඒ ගැන මහජනයාට අවබෝධයක් ලබාදීමේ වැදගත්කම තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

විය යුතුව තිබුණේ ප‍්‍රධාන නායකයන් දෙපළ පළමු කොට ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව පොදු එකඟතාවක් ඇතිකර ගැනීමය. ඉන්පසු එම වැඩසටහන කැබිනට් මණ්ඩලයට විස්තර කොට ඔවුන් අතර එම පරිවර්තන වැඩසටහන සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමය. ඉන්පසු එය ධවල පත‍්‍රිකාවක් වශයෙන් හෝ වෙනත් ආකාරයකින් මහජනතාව අතට පත් කොට උණුසුම් මහජන සාකච්ඡුාවකට ඉඩදෙමින් එම පරිවර්තන වැඩසටහනේ යුක්ති සහගතභාවය හා ඉන් සමාජයට සිදුවන යහපත මහජනයාට ප‍්‍රශස්ත ලෙස කියාදෙමින් ඊට පක්ෂපාත මහජන මතයක් ගොඩනැගීම සඳහා ක‍්‍රියාකිරීමය.

ලොකු පරිවර්තන වැඩසටහනකදී එය ක‍්‍රියාවට නගන නායකයන් තුළ තමන් කරන්නට යන දේ ගැන පැහැදිලි අවබෝධයක් තිබීම අවශ්‍ය වන අතර එම වැඩසටහන ක‍්‍රියාවට නැගීමෙහිලා තිර අධිෂ්ඨානයක්ද තිබිය යුතුය. එවැනි පරිවර්තන වැඩසටහනකට නායකත්වය දෙන්නේ එක ප‍්‍රධාන නායකයකු නොවී ප‍්‍රධාන නායකයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනක් නම් එම ප‍්‍රධාන නායකයන් දෙදෙනා හෝ කිහිපදෙනා අතර පොදු එකඟතාවක් තිබීම අත්‍යවශ්‍යය.

තිර අධිෂ්ඨානයක් තිබිය යුතුය යන්නෙන් අදහස්වන්නේ පරිවර්තන වැඩසටහනට මහජනයා විරුද්ධ නම් මහජන විරුද්ධත්වය නොසලකා එය බලහත්කාරයෙන් ක‍්‍රියාවට නැගිය යුතු බව නොවේ. ඒ වෙනුවට මහජනයාට කියාදී ඔවුන් කැමති කරගන්නා පිළිවෙතක් තුළ එය ක‍්‍රියාවට නැගිය යුතු බවය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සේ ම අගමැති රනිල් වික‍්‍රමසිංහද පෙනී සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනි. ඔවුන් කරන්නට යන්නේ රටේ යහපතට හේතුවන හරි දෙයක් නම් මහජනයා විරුද්ධ වූ පමණකින් එම වැඩසටහන හකුළා ගැනීම හරි දෙයක් වන්නේ නැත. එහිදී වියයුත්තේ තිර අධිෂ්ඨානයකින් යුතුව මහජනයා දැනුවත් කරන ප‍්‍රතිපත්තියක් මගින් වැඩි පිරිසකගේ අනුමැතිය දිනාගනිමින් මහජනයාගේ ආශිර්වාදය ඇතිව එම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමය.

මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධි ක‍්‍රියාවට නගන ලද පරිවර්තන වැඩසටහන ක‍්‍රියාවට නැගීම ඉතා දුෂ්කර හා සංකීර්ණ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය පරාජය කොට ඉන්දියාවට නිදහස ලබාගැනීම අපේක්ෂා කළා සේ ම ඒ සඳහා කෙරෙන අරගලය තුළ ඉන්දියානු ජාතිය ගොඩනැගීමටත් ඒ සමග පසුගාමී තත්ත්වයක සිටි ඉන්දියානු සමාජය නවීන ලෙස හිතන පතන ඉදිරිගාමී සමාජයක් බවට පරිවර්තනය කිරීමටත් අපේක්ෂා කළේය. ඉන්දියාව බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් කරගන්නවාටත් වඩා දුෂ්කර කාර්යය වී තිබුණේ ජාතිය ගොඩනැගීම හා ඉන්දියානු සමාජය නවීන සමාජයක් බවට පත්කරලීමය.

ජාතිය ගොඩනැගීම පිළිබඳ න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව තිබුණු සංකීර්ණ හා දුෂ්කරම ප‍්‍රශ්නය වූයේ හින්දු මුස්ලිම් භේදය තුනීකිරීම හා කුලභේදයට තිබූ අතිවිශාල පිළිගැනීම නැති කිරීමය. කුලභේදයට තිබුණු පිළිගැනීම නැති කොට පීඩිත කුලවල ජනයාගේ තත්ත්වය නගා සිටුවීම සඳහා ඉන්දියානු කොංග‍්‍රසය ඉටුකරන ලද කාර්යභාරය සුවිශාලය. හින්දු මුස්ලිම් භේදය තුනී කිරීම සඳහා ගාන්ධි දරන ලද උත්සාහය අතිවිශාල වුවත් ඉන්දියාවේ බිඳීමක් ඇතිවීම මුළුමනින් වළකා ගැනීමට ගාන්ධි සමත් නොවීය. එහෙත් පාකිස්තානය ලෙස වෙන්වූ රටට එකතු වූ මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාවට වැඩි මුස්ලිම් ජන සංඛ්‍යාවක් ඉන්දියාව තුළ නතර කරගනිමින් ඉන්දියානු ජාතිය ගොඩ නගා ගැනීමට ගාන්ධි සමත් විය. ගාන්ධිට අවසානයේදී සිය ජීවිතය පූජා කරන්නට සිදුවූයේද එම උදාර අරමුණ වෙනුවෙනි. ගාන්ධි දක්ෂ සන්නිවේදකයකු වූ අතර ඔහු මහජනතාවට හොරා කිසිවක් නොකළේය. හැම වැදගත් ප‍්‍රශ්නයකදීම ඔහු මහජනතාවට කතා කළේය. ඔවුන් දැනුවත් කළේය.

නෙල්සන් මැන්ඩෙලා

දකුණු අප‍්‍රිකානු පරිවර්තන වැඩසටහන ආරම්භයේදී කොංග‍්‍රසය පවා මැන්ඩෙලා දෙස බලන ලද්දේ සැකයෙනි. එහෙත් එම තත්ත්වයෙහි ඉක්මන් පරිවර්තනයක් ඇතිකර ගැනීමට ඔහු සමත් වූ අතර ඉක්මනින් කොංග‍්‍රසයේ සාමාජිකයන් ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයකින් ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිකර ගැනීමට ඔහු සමත් විය. ප‍්‍රතිපක්ෂය සමග පොදු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන සාකච්ඡුා රහසේ සිදුවුවද පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු පරිවර්තන වැඩසටහනට අදාළ ලොකු කුඩා හැම ප‍්‍රශ්නයක් ගැනමත් ඔහු මහජනතාව දැනුවත් කරන පිළිවෙතක් අනුගමනය කළේය. මහජනයාට අධ්‍යාපනයක් ලබාදෙමින් මහජනයාගේ ආකල්පවල පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඔහුට දැවැන්ත අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබුණේය. ඔහු ගාන්ධි මෙන් මහජන අධ්‍යාපනයට බර තැබූ නායකයෙක් විය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා ඇති කරගෙන තිබූ මාර්ග සැලැස්මෙහි මහජන අධ්‍යාපනය ප‍්‍රධානතම අංගය වී යැයි කිව හැකිය.

ව්‍යවස්ථා සම්පාදනයෙහි මහජනයා දැනුවත් කිරීම සඳහා වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ දහස් ගණනක් පැවැත්වීය. ඒ සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ රූපවාහිනී වැඩසටහන් 37ක් පෙන්වා තිබෙන අතර ඒ වෙනුවෙන් ගුවන්විදුලිය පවත්වාගෙන ගිය විශේෂ වැඩසටහන්වලට සවන් දී තිබෙන අසන්නන්ගේ සංඛ්‍යාව මිලියන 10කි. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය එහි සිදුවන දේවල් මහජනයාට දැනගැනීමට සැලැස්වීම සඳහා විශේෂ පුවත්පතක් පළකරන ලද අතර වරකට මුද්‍රණය කර තිබෙන පිටපත් සංඛ්‍යාව 160,000කි. මහජනයා දැනුවත් කිරීම සඳහා පවත්වාගෙන ගිය අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳව 1996දී කරන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයකට අනුව එම අධ්‍යාපන වැඩසටහන් වැඩිහිටි ජනගහනයෙන් සියයට 84ක් කෙරෙහි බලපා තිබේ.

අපේ රටේ අවුල

ලංකාවේ යහපාලන ආණ්ඩුවේ පරිවර්තන වැඩසටහන සමග අතිනත ගත් මහජන අධ්‍යයන වැඩසටහනක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව කරන්නට යන දේවල් මහජනයාට කරන පැහැදිලි කිරීමකින් තොරවම මහජනයා අවබෝධ කරගනු ඇතැයි සිතන තත්ත්වයක පිහිටා ආණ්ඩුව ක‍්‍රියාකරන බව පෙනෙන්නට තිබේ. තෝරාගෙන තිබෙන මෙම වැරදි මාවත ප‍්‍රශ්න ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින උතුරේ රැුඳවියන් නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය මහජනයාට විස්තරාත්මකව පැහැදිලි කොට මහජනයා දැනුවත් කිරීම අවශ්‍ය වී තිබුණද ආණ්ඩුව එසේ කිරීමෙන් තොරව රැුඳවියන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් උසාවියට ඉදිරිපත් කොට ඇප මත මුදාහැරීමට තීන්දු කළේය. රැුඳවියන් නිදහස් කිරීමේ ප‍්‍රශ්නය විරුද්ධ පක්ෂවල පමණක් නොව ඒවාට ආධාර කරන සමහර ජනමාධ්‍යවලද බලවත් විරෝධයට හේතුවිය. මෙම විරෝධතා නිසා හෝ අන් හේතුවක් නිසා හෝ රැුඳවියන් නිදහස් කිරීම සඳහා අධිකරණය නියම කරන ලද ඇප කොන්දේසි පහසුවෙන් සපුරාගත හැකි තත්ත්වයක නොවූ අතර ඒ නිසා ඇප ලබාදෙන ලද සියලූදෙනා නැවත රිමාන්ඞ් කිරීමට සිදුවිය. එම තත්ත්වය උතුරේ දෙමළ ජනතාවගේ කනස්සල්ලට සේ ම විරෝධයටද හේතුවිය. එම තත්ත්වය යටතේ ඊට විරෝධය පළකිරීම සඳහා දෙමළ සන්ධානය සංවිධානය කළ එක්දින හර්තාල් ව්‍යාපාරය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකේ පරිපාලන හා දෛනික කටයුතු මුළුමනින් අඩපණ වන තත්ත්වයක් ඇතිවිය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සාමකාමී ආකාරයකින් හෝ සටන් කරන තත්ත්වයකට තල්ලූ කිරීම යහපත් නොවනවා සේ ම දකුණේ වර්ගවාදී බලවේගයන්ට නැගී සිටීමට අවස්ථාවක් ලබාදීමද යහපත් වන්නේ නැත. මහජන විවාදයට හේතුවන මෙවැනි ප‍්‍රශ්නවලදී මහජනයා දැනුවත් කරමින් ඔවුන්ගේද සහාය ලබාගනිමින් ගනු ලබන තීන්දු ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය වන්නේය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රැුඳවියන් සියලූදෙනා නිදහස් කරන බවට හා එම පනතද අහෝසි කරන බවට ආණ්ඩුව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ලබාදී තිබෙන සහතික අතර වැදගත් සහතික දෙකක් ලෙස සැලකිය හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාවන්ට ලබාදී තිබෙන එම සහතික ක‍්‍රියාත්මක නොකරයි නම් මේ ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රජාව ඇති කරගෙන තිබෙන විශ්වාසයේ බිඳ වැටීමක් ඇතිවනු නොවැළැක්විය හැකිය. රැුඳවියන් නිදහස් කිරීම අවශ්‍යවන්නේ මානව හිමිකම් කවුන්සිලයට ලබාදී තිබෙන සහතිකය නිසා පමණක් නොව නඩු නොපවරා දීර්ඝ කාලයක් පුද්ගලයන් අත්අඩංගුවේ තබාගැනීම අසාධාරණ නිසා පමණක් නොව නීතියටද පටහැනි වන නිසාය

ඊපීඑෆ් සහ ඊටීඑෆ්

ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් දෙක එකට එකතු කොට විශ‍්‍රාමික පාරිතෝෂික අරමුදලක් ඇති කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුවලද බරපතළ ප‍්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය. මෙම අරමුදල් රජයේ කිසිදු දායකත්වයක් නැති පෞද්ගලික අංශයේ සේවකයන්ට අයත් අරමුදලකි. අරමුදලේ ප‍්‍රමාණය ටි‍්‍රලියන 1.7කි. එය රුපියල් කෝටි 17,000කට සමානය. මෙම අරමුදල මෙතෙක් පැවතුණේ මහ බැංකුව භාරයේය. රාජපක්ෂ පාලන කාලයේදී මහ බැංකුවේද අනුදැනුම ඇතිව මෙම අරමුදලේ කිසියම් ගසාකෑමක් සිදුවී තිබුණද මුළු එකක් වශයෙන් ගත්විට මහ බැංකුවෙන් මෙම අරමුදලට ආරක්ෂාවක් ලැබී තිබුණේයැ’යි කිව හැකිය.

මෙම අරමුදල් දෙක එකට ඒකරාශි කොට දේශපාලනඥයන්ට අනිසි ලෙස ඇඟිලි ගසන්නට ඉඩක් නැති, ගසාකෑම්වලට ඉඩක් නැති, සේවකයන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙනවාට අතිරේකව රටේ පොදු යහපතටද හේතුවන අරමුදලක් නිර්මාණය කිරීම අගමැතිවරයාගේ අවංක අභිලාෂය විය හැකි වුවත් ඒ ගැන මහජනයා තුළ විශ්වාසයක් නැති නම් අගමැතිවරයාගේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකිවන්නේ නැත.

මේ තත්ත්වය ලංකාවේ දේශපාලන නායකයන් මුහුණදී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ජනතාව අතර දේශපාලන නායකයන් කෙරෙහි ලොකු විශ්වාසයක් හෝ ගෞරවයක් නැත. ලංකාවේ මහජනයාට දේශපාලනඥයන් පෙනෙන්නේ ගසාකන්නන් ලෙසය. නව ආණ්ඩුවක් බලයට පත්වී ඇතත්, දේශපාලනඥයන් පිළිබඳව මහජන සිත්වල ඇඳී තිබුණු එම චිත‍්‍රයේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට මේ ආණ්ඩුවද සමත් වී නැත. මහ බැංකුව ගැනද මහජනයාට විවේචනයක් ඇතත්, ඇති කරන්නට යන නව ආයතනය ගැන මහජනයාට වැටහීමක් නැති නිසා නොදන්නා යක්ෂයාට වඩා දන්නා යක්ෂයා හොඳයැ’යි සිතන ආකල්පයක් මහජනයා අතර පවතී.

ගුණාත්මක වෙනසක් පෙන්නුම් නොකිරීම

මෙම තත්ත්වය ආණ්ඩුවේ වරදින් ඇතිවී තිබෙන තත්ත්වයක් මිස මහජනයාගේ වරදින් ඇතිවී තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. මේ ආණ්ඩුව පරණ දේශපාලන සංස්කෘතියෙන් එන මිනිසුන්ගෙන් සමන්විත ආණ්ඩුවක් වුවත් එය පැරණි ආණ්ඩුවලින් මුළුමනින් වෙනස් ආණ්ඩුවක් බව පෙන්නුම් කිරීමේ හැකියාව මේ ආණ්ඩුවට තිබුණි. එහෙත් ආණ්ඩුව පැරණි ආණ්ඩුවලින් ගුණාත්මක වශයෙන් වෙනස් ආණ්ඩුවක් බව පෙන්නුම් කිරීමට මේ ආණ්ඩුව සමත් වූයේ නැත. එහෙත් ආණ්ඩුව අසමත් වූ දේ කරන්නට මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුව සමත් වූ බව කිව යුතුය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලොකු වෙනස්කම් ඇතිකර නොතිබියදීම හා එහි පරණ නිලධාරීන් සේවයේ යෙදී සිටියදීම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන කවරදාවත් නොතිබුණු ආකාරයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමත්වීම මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව අහිමි කරගෙන තිබූ මහජන විශ්වාසය යළි හිමිකර ගත්තේය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාට හා මැතිවරණ දෙපාර්තමේන්තුවට තිබුණු ඒ හැකියාව ආණ්ඩුවට තිබුණේ නැත. ආණ්ඩුව සමන්විතව ඇත්තේ පරණ දේශපාලන සංස්කෘතියට අයත් මිනිසුන්ගෙන් වුවත් මේ ආණ්ඩුව මීට පෙර තිබුණු ආණ්ඩුවලට වඩා ගුණාත්මක වශයෙන් වෙනස්, අවංක, දූෂණයෙන් තොර මහජන සේවයට ඇප කැපවූ ආණ්ඩුවක් බව පෙන්නුම් කළ යුතුව තිබුණත් ඒ දේ ආණ්ඩුව නොකළේය.

ආණ්ඩුවේ නායකයන් දෙදෙනා ආරම්භයේදීම තමන් කරන්නට අපේක්ෂා කරන පරිවර්තනය කැබිනට් ඇමතිවරුන්ට පැහැදිලි කරදී ඥාති මිත‍්‍ර සංග‍්‍රහයෙන් හා දූෂණයෙන් වැළකී සිටීම එම පරිවර්තනය සාර්ථක කරගැනීම සඳහා තිබිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් බව දැනුම් දුන්නේ නම් ඇමතිවරුන්ගේ චර්යාව මීට වඩා යහපත් වන්නට ඉඩ තිබුණි. ඒ සමග එම අවවාදය නොසලකා ක‍්‍රියාකරන ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සමත් වී නම් මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුව අලූතෙන් ඇති කරගත් මහජන විශ්වාසයට හා ගෞරවයට සමාන මහජන විශ්වාසයක් හා ගෞරවයක් ආණ්ඩුව කෙරෙහිද ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් එවැනි වෙනසක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව අද දක්වා සමත් වී නැත. එම අවාසනාවන්ත තත්ත්වයට නායකයන් දෙපළම හරි හරියට වගකිව යුතුය.

මහජන විශ්වාසය හා ගෞරවය ඇතිකර ගැනීම

ආණ්ඩුවට මහජන විශ්වාසය හා ගෞරවය අවශ්‍ය නම් ප‍්‍රමාද වී දැන් වුවත් ඒ තත්ත්වයට ළඟාවිය හැකිය. ඒ සඳහා කළ යුතුව තිබෙන ලොකුම දේ වනුයේ නෑකම හෝ මිත‍්‍රකම මත තනතුරුවලට පත්කර තිබෙන පුද්ගලයන් ගැන සොයා බලා ඔවුන් එම තනතුරුවලින් ඉවත් කොට සුදුසු පුද්ගලයන් එම තනතුරුවලට පත්කිරීමය. එවැනි ක‍්‍රියාමාර්ගයකින් පමණක් වුවත් ආණ්ඩුවට අහිමි වී තිබෙන මහජන විශ්වාසය හා ගෞරවය හිමි කරගත හැකිය. එහෙත් එසේ කළ හැකිවනු ඇත්තේ එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය කරන දේශපාලන අධිෂ්ඨානය මේ නායකයන් දෙදෙනාට තිබේ නම් පමණය.

සමාජ-දේශපාලන ක‍්‍රමයේ ලොකු විපර්යාසයක් අරමුණු කරගත් මොනම ආණ්ඩුකටවත් මහජනයාගේ විශ්වාසය හා ගෞරවය නැතිව එවැනි වැඩසටහනක් සාර්ථක කරගත නොහැකිය. ඒකාධිපති ආණ්ඩුවක පැවැත්ම සඳහා පවා කිසියම් ප‍්‍රමාණයකට මහජන විශ්වාසය හා ගෞරවය අවශ්‍ය වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් සඳහා එය නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. මහත්මා ගාන්ධිට තමන් ජීවත් වූ අතිවිශාල හා සංකීර්ණ සමාජයක තමන්ගේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට හැකිවූයේ ඉන්දියානු ජනතාව අතර ගාන්ධි කෙරෙහි පැවති අතිවිශාල විශ්වාසය හා ගෞරවය නිසාය. එසේ තිබියදීත් මහත්මා ගාන්ධි තමන් කරන්නට යන හැම දෙයක්ම විස්තරාත්මක ලෙස පැහැදිලි කරමින් මහජනතාව දැනුවත් කළේය.
මැන්ඩෙලාට සිය ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකිවූයේද ඔහු පිළිබඳව මහජනයා අතර පැවති අතිවිශාල විශ්වාසය හා ගෞරවය නිසාය. එසේ තිබියදීත් ඔහුද ගාන්ධි සේ ම තමන් කරන්නට යන හැම දෙයක්මත් මහජනයාට පැහැදිලි කරදෙමින් මහජනයා දැනුවත් කළේය. වර්ගවාදී සුදු පාලන කාලය තුළ සිදුවී තිබෙන සාපරාධී ක‍්‍රියා සොයා බැලීමට ගනු ලැබූ තීන්දුවේදී තමන් අතින් සිදුවී තිබෙන සාපරාධී ක‍්‍රියා පමණක් නොව අප‍්‍රිකානු කොංග‍්‍රසයේ සන්නද්ධ කණ්ඩායම් අතින් සිදුවී තිබෙන සාපරාධී ක‍්‍රියාද සොයා බැලිය යුතු බවට සුදු ජාතිකයෝ තරයේ ඉල්ලා සිටියෝය. මෙම ඉල්ලීම කොංග‍්‍රසයේ බලවත් විරෝධයට හේතුවී තිබුණද මැන්ඩෙලා එම ඉල්ලීමට එකඟ වූයේය. එය මැන්ඩෙලාගේ අවංක හා මැදිහත්භාවය උරගා බැලීමට ලක් කෙරුණු වැදගත් අවස්ථාවක් විය.

පරිවර්තනයක් අවශ්‍ය නම්

මේ රටේ සමාජ-දේශපාලන ක‍්‍රමයේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය නම් අපේ ප‍්‍රධාන නායකයන් දෙදෙනාද මහා පුරුෂයන් බවට පත්වීමට අධිෂ්ඨාන කරගත යුතුය. එය කළ නොහැකි දෙයක් නොව කළ හැකි දෙයකි.

මේ නායකයන් දෙදෙනා කෙරෙහිද ආරම්භක අවස්ථාවේදී කිසියම් ප‍්‍රමාණයක විශ්වාසයක් හා ගෞරවයක් මහජනයා අතර තිබුණි. එහෙත් එම විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කරගනිමින් එම තත්ත්වය වැඩිදුරටත් වර්ධනය කරගැනීමට මෙම නායකයන් දෙපළ සමත් වී නැති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ඒ නිසා මේ මොහොතේ එම නායකයන් දෙපළගේ අවධානය යොමුවිය යුතුව තිබෙන ප‍්‍රධානතම කාරණය ලෙස සැලකිය හැක්කේ බිඳ වැටී තිබෙන මහජන විශ්වාසය හා ගෞරවය නැවත ඇති කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ඒ සඳහා මෙතෙක් කරන ලද දේවල් දෙස විවේචනාත්මක ආපසු හැරී බැලීමක් අත්‍යවශ්‍යය. සිදුවී තිබෙන වැරදි යළි නිවැරදි කරන පිළිවෙතක් මගින් සෝදාපාළුවට ලක්වෙමින් තිබෙන මහජන විශ්වාසය හා ගෞරවය යළි ඇති කරගත යුතුය. මෙම නායකයන් දෙපළට ආත්ම විශ්වාසයකින් යුතුව පරිවර්තන වැඩසටහනට නායකත්වය දීමට හැකිවනු ඇත්තේ එවිටය.

Comments