බෙදෙනු ඇති මුත් නොබිඳෙනු ඇත


   Syndicated from ravaya,


manuwarna

මනුවර්ණගේ සතිය

එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ‍්‍රීලනිපයේ ජයග‍්‍රහණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කිරීමත් සමග හවුල් ආණ්ඩුවේ පැවැත්ම ගැන සමහරුන් නැවත කුකුසක් ඇතිකර ගෙන ඇති බව පෙනෙයි. ඔවුන්ගේ පෙර දැක්ම වන්නේ, ජනාධිපතිවරයා පක්‍ෂ දේශපාලන වේදිකාවට ගොඩවීම හරහා එජාපය සමග විශාල බෙදීමක් ඇතිවනු ඇති බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස නුදුරෙහිම ආණ්ඩුව බිඳීයෑමේ අවදානමක් මතුවිය හැකි බවත්ය.

මෛත‍්‍රී-රනිල් හවුල් ආණ්ඩුව වසර දෙකක කාලයක් සඳහා බව මුලින් තිබුණු එහකඟත්වයයි. ඉන්පසුවත් මේ ආණ්ඩුව පවත්වා ගන්නේද යන්න අවුරුදු දෙකෙන් පසුව තීරණය කරන බව පක්‍ෂ දෙකේම වගකිවයුත්තෝ කියති. 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අලූත් ප‍්‍රතිපාදන උදව්කරගෙන ඇමතිකම් බෙදාගත්තද මෙය එම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ජාතික ආණ්ඩුව යන පැහැදිලි කිරීම යටතට නොවැටෙන බව සියල්ලෝම දනිති. ජාතික ආණ්ඩුවක් නොවුණද, හවුල් ආණ්ඩුවක් වුවද, ඒ හරහා රටට අත්කරගත යුතු යහපත් දේ ගැන සලකා බලා හෝ දැන් කිසිවෙක් ආණ්ඩුවේ මැති ඇමති පත්කිරීම් ගැන එතරම් බැරෑරුම්ව නොසිතති. එහෙත්, මේ ආණ්ඩුවෙන් මේ අවුරුදු දෙකක කාලය තුළ උපරිම පල නෙලාගත යුතුය යන්න නම් අමතක නොකළ යුතු මන්ත‍්‍රයකි.

ජනාධිපතිවරයා සිය තායිලන්ත සංචාරයේදී අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව අවධාරණය කළේය. එය ආණ්ඩුවේ පැත්තෙන් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන සඳහන් කළ ආසන්නතම අවස්ථාවයි. පසුගිය දේශපාලන වෙනස සඳහා දායකවුණු සමාජ බලවේග ආණ්ඩුවෙන් පළමුව බලාපොරොත්තු වුණේද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. ඒ ව්‍යවස්ථාව තුළ, රටේ ඉතාමත් වැදගත් ප‍්‍රශ්නවලට පිළිතුරු අඩංගුව තිබිය යුතු බව පැහැදිලිය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන පාලන ක‍්‍රමයක්, වාර්ගික ගැටලූවට ස්ථිරසාරව ඇමතිය හැකි බලය බෙදාගැනීම පදනම් කරගත් දේශපාලන විසඳුමක්, ජනතාවගේ ගැටලූවලට පිළියම් ලැබෙන ආකාරයේ මැතිවරණ ක‍්‍රමයක්, මූලික අයිතිවාසිකම්වල පුළුල්වීමක් යනාදි වශයෙන් වූ මේ වෙනස්කම් එක මිටකට ගත හැකි වන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් පමණකි. ආණ්ඩුව පිහිටුවා, මාස දෙකක් අවසන් වන මේ මොහොත වන විටද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් ගැන පැහැදිලි ප‍්‍රකාශයක් නොවුණු තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයාගේ ඉහත අවධාරණය වැදගත්ය. ඉහත සාරාංශ ලෙස සඳහන් කැරුණු අංග ඇතුළත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කර අවසානය දක්වා ගෙන යන්නට හැකිවුවහොත් ලංකාව මුළුමනින්ම වෙනස් තැනක් කරගන්න ඉන් හැකි වන්නේය. ජනාධිපති වරයාගේ අභිලාෂය එසේ වුවද තවමත් ඉන් එහා ප‍්‍රායෝගික පියවර ගැනීමක් පෙනෙන්නට නැත. ඒ අතර සිවිල් සමාජය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගතය ගැන බැ?රුම් සාකච්ඡුා ආරම්භ කර තිබෙන බව පෙනෙයි. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුගේ ප‍්‍රධානත්ව යෙන් යුත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා උනන්දුවක් දක්වන් නන්ගෙන් යෝජනා ලබාගනිමින් සිටියි. එය ඉතා වැදගත් කර්තව්‍යයකි. ආණ්ඩුව විසින් කෙටුම්පත් කරනු ලබන ව්‍යවස්ථාවක හොඳ නරක දිව ගා බලනු වෙනුවට සමාජයෙන් පැනනගින කෙටුම්පතක් සාකච්ඡුාව සඳහා ඉදිරිපත් කළ හැකි නම්, එහි යහපත් ප‍්‍රතිඵලය දෙගුණ තෙගුණ වනු ඇත.

කොහොම වුණත්, හවුල් ආණ්ඩුවෙන් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නෙලාගැනීම ඒ තරම් පහසු නොවනු ඇත. ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර වෙනස්කම් මතුවන්නට පටන්ගනු ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට එන සංයුක්ත කාරණා එකින් එක සලකා බැලීමේදීය. රටේ ඒකීයභාවය, පාලන ව්‍යුහය, අනාගමිකභාවය වැනි කාරණාවලින් පටන්ගෙන බලය බෙදීමේ ආකෘතිය දක්වා එන විට ආණ්ඩුවේම පාර්ශ්වකරුවන් අතර බොහෝ පසමිතුරුතාවන් ඇතිවිය හැකි බවට දැන් සිටම කල්පනා කළ හැකිය. එහිදී සිදුවන අවුල කිසියම් තත්ත්වයකින් හෝ අවම කරගත හැකි වනු ඇත්තේ සමස්තයක් හැටියට ආණ්ඩුවට පිටින් එන බලපෑමක් නිර්මාණය කරගතහොත් පමණකි. ඒ බලපෑම එල්ල කළ යුතු වන්නේ පිටත සමාජයෙනි. ඒ සඳහා සමාජයේ විවිධ තීරුවල හා සමාජ සංවිධානවල මූලික එකඟත්වය ඇති ව්‍යවස්ථා කෙටුම්පතක අවශ්‍යතාව තිබේ.

ඉදිරි පළාත් පාලන ඡන්දවලදී මෛත‍්‍රීපාල හා රනිල් වෙනස් පාර්ශ්ව දෙකක සිට තරග කිරීම අනිවාර්යයෙන් බලා පොරොත්තු විය යුත්තකි. පසුගිය මහමැතිවරණයේදී ශ‍්‍රීලනිපය පරාජය කරවීමට තමා දායක වීය යන චෝදනාවෙන් ගැලවීමට ජනාධිපතිවරයාට අවශ්‍යය. ඒ චෝදනාව එන්නේ තවමත් කිසියම් බලයක් අතේ තබාගෙන සිටින රාජපක්‍ෂ කණ්ඩායම වෙතිනි. එක් පැත්තකින් ඒ අවමානයෙන් ගැලවීමටත්, අනෙක් පැත්තෙන් ප‍්‍රාදේශීය මට්ටමෙන් පක්‍ෂයේ බලය අල්ලාගැනීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍යය. සමහරුන් සිතන්නේ එය අවදානම් සහගත තීරණයක් බවත්, සැලකිය යුතු ජයග‍්‍රහණයක් ලබාගත නොහැකි වුවහොත් සිරිසේන මහතාගේ නායකත්වය බලරහිත වනු ඇති බවත්ය. දැනට සභාපතිවරයාව සිටිමින් විධායක ජනාධිපතිධුරයද හොබවන සිරිසේන මහතාගේ නායකත්වය ශ‍්‍රීලනිපය තුළ ඉදිරියේදී ශක්තිමත් වනු ඇති මිසක දුර්වල වන්නට ඉඩක් නැත. (එය එජාපය හා නිර්පාක්‍ෂික සිවිල් ජනතාවගේ පැත්තෙන් බලන විට එක්තරා නරක තත්ත්වයකි.) ජනාධිපතිවරණයේදී තමා සමග නොසිටි විශාල පිරිසක් තමා ළඟට ගන්නට ජනාධිපතිවරයා ජනවාරි 8 වැනිදායින් පසුව සමත්විය. එය සිදුවන්නේ මූලික වශයෙන් බලය තිබෙන පැත්තට කෙරෙන නැමියාව නිසාය. මහමැතිවරණයට පසුව එන ඉදිරි පළාත් පාලන මැතිවරණය මේ ක‍්‍රියාවලියේ අවසන් පුරුක වෙයි. මේ අවස්ථාවේදී බලය තහවුරු කරගැනීම තවත් අඩු ගණනේ අවුරුදු හතරක් සඳහා ශක්තිමත් පියවරක් තැබීමකි.

අනෙක් අතට පළාත් පාලන මැතිවරණවලදී බලය යන්නේ, සාමාන්‍යයෙන් ඒ මොහොතේ බල කේන්ද්‍රයේ තහවුරුව ඉන්නා පක්‍ෂය වෙතය. විශේෂයෙන් මහමැතිවරණයක් අවසන්ව කාලයක් ගතවන තුරු පැවැත්වෙන පුංචි මැතිවරණවල වාසිය හිමිවන්නේ මහ මැතිවරණයේදී පාලනය තහවුරු කරගත් බලවේගවලටය. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. බලය ඇති තැන ගැන සිතා ඡන්දය දෙන විට බලය ඇති තැන් දෙකක් දකින්නට ලැබේ. ඒ ජනාධිපතිවරයා හා අගමැතිවරයාය. මේ දෙපාර්ශ්වයම ආණ්ඩු බලය නියෝජනය කරන නිසා පළාත් පාලන මට්ටමේ ජනතා බලවේග මේ පාර්ශ්ව දෙක කෙරෙහිම අඩුවැඩි වශයෙන් නැඹුරුවනු ඇතැයි සිතිය හැකිය. එයිනුත් නිර්මාණය වනු ඇත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින ආකාරයටම බොහෝ දුරට සමාන බලතුලනයකි. කොහොම වුණත් පළාත් පාලන ආයතන කේන්ද්‍රයේ දේශපාලනයට විශාල බලපෑමක් නොකරන නිසා, ඒ මට්ටමේදී ඇතිවන බලය ඇති හෝ නැති තත්ත්වය විශේෂ වැදගත්කමක් නොඋසුලයි.

මහින්ද රාජපක්‍ෂ පිලේ ක‍්‍රියාකාරිත්වයද මේ සමගම තබා සලකා බලන්නට සිදුවෙයි. රාජපක්‍ෂ හිතැ’ති පිරිස හා අනෙකුත් කුඩා දේශපාලන පක්‍ෂ ශ‍්‍රීලනිපයෙන් කැඞී වෙනම සන්ධානයක් ලෙස ඉල්ලීමට ඇති ඉඩකඩ ගැන මේ දිනවල අසන්නට ලැබේ. එය සිතන තරම් පහසු තත්ත්වයක් නොවේ. ශ‍්‍රීලනිපයේ නීත්‍යනුකූල බලය ඇත්තේ මෛත‍්‍රීපාල පිලට වන විට, මේ ඡුන්ද විමසීමේදී පක්‍ෂය කටයුතු කළ යුතු ආකාරය ගැන නිල වශයෙන් තීරණයක් ගැනීමේ බලය ඇත්තේ ඒ පැත්තටය. ඒ කියන්නේ, සන්ධානයකින් තරග නොකොට ශ‍්‍රීලනිපය හැටියට තරග කරනවාය යන තීරණයට එළැඹෙන්නට ශ‍්‍රීලනිපයට හැකිවුණොත්, ඒ තීන්දුව සමග නොඉඳ විපක්‍ෂයේ සන්ධානයට එකතුවන්නට නීත්‍යනුකූල අවසරයක් ශ‍්‍රීලනිප සාමාජිකයන්ට ලැබෙන්නේ නැත. ඔවුන් පක්‍ෂයේ ඒ තීරණයට එකඟ නොවී වෙනම ඉල්ලූවොත්, මෙතෙක් කලක් දඩයම් කරගන්නට නොහැකිවූ තමන් දඩයම් කරගන්නට මෛත‍්‍රීපාලට ස්වයංක‍්‍රිය ගිනිඅවියක් තමන් විසින්ම ලබාදෙන තත්ත්වයට මහින්ද රාජපක්‍ෂ හිතවතුන් පත්වන්නට ඉඩ තිබේ. ඒ නිසා පක්‍ෂයට නායකත්වය දෙනවායැ’යි සිරිසේන මහතා කියන විට, මහින්ද රාජපක්‍ෂගේ අභියෝගය බාරගැනීමත් සමගම තමාගේ බලය පක්‍ෂය තුළ පහළ මට්ටමට යන තෙක්ම පතුරුවාලීමටද ජනාධිපති වරයාට අවස්ථාව ලැබෙයි. එහි අවාසිය රාජපක්‍ෂ පිලට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ශ‍්‍රීලනිපයෙන් කැඞී එන පිරිසක් සමග වෙනත් බලවේගයක් හදාගෙන පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වීම කිහිප ආකාරයකින් ප‍්‍රතිඵල රහිත තීරණයක් වන්නේය. එකක්, එය ශ‍්‍රිලනිපය තුළ බලවත් විනය වරදකට අහුවන්නට හේතුවනවා ඇත. ඊට බයේ ශ‍්‍රීලනිප සාමාජිකයන් සන්ධානයට එකතුවුණේ නැත්නම් සන්ධානයක් හැදීමෙන් වැඩක් නැත. වීරවංශ, වාසුදේව, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන හා ඩිව් ගුණසේකර වැනි අයට ශ‍්‍රීලනිපයෙන් තොරව තනිව මැතිවරණ තරග කිරීමක් ගැන සිතන්නටත් නොහැකිය. අනෙක් අතට මේ මට්ටමේ ඡන්ද විමසීම්වලදී වැල යන අතට මැස්ස ගැහීමේ දේශ පාලනයක් මිස අන් කිසිවක් සිදුනොවේ. ඒ කෝණයෙන් බලන විට, බලයක් හා අනාගතයක් නැති, ශ‍්‍රීලනිපයේ කැඩුණු කොටස් හා කුඩා පක්‍ෂවල හවුල් සන්ධානයකට තමන්ගේ පළාත් පාලන ආයතන බාරදෙන්නට මහජනතාව සිත හදාගනීවිය යන්න සිතන්නට නොහැකිය. මහින්ද රාජපක්‍ෂ දැන් සිටින්නේ සිය දේශපාලන ජීවිතයේ අවසාන අවධිය තුළය. ඉදිරියේදී තවත් දියාරුවීම මිස නැගඒමක් ඔහුගෙන් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව ඔහු ගැන විශ්වාසයෙන් ඡන්දය දෙන පිරිසද දැන් අඩුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන ඡන්දයේදී පක්‍ෂයේ ජයග‍්‍රහණයට නායකත්වය දීම ගැන සලකා බැලිය යුත්තේ මේ පසුබිමේය. මේ තත්ත්වය හොඳින්ම දන්නා පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහය. ජනවාරි 8න් පසු කේන්ද්‍රයේ ඇතිවූ බල තුලනය ගැන නිසි තක්සේරුවක් ඇති ඔහු, තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩ නොදෙන්නට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව පෙනෙයි. අගෝස්තු 17වැනිදායින් පසු ශ‍්‍රීලනිපයේ කිහිප දෙනකු එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබියදී එය නොකොට හවුල් ආණ්ඩුවක් සඳහා තිරසාරව පෙනීසිටීමෙන් ඔහු අද දක්වාම එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරිකයන්ගේ ගැරහීමට පාත‍්‍රවී සිටියි. ඒ අතර පරණ දූෂිතයන්ම නැවත ඇමති මණ්ඩලයට පත්වෙද්දී නිහඬව සිටීමෙන් ඔහු සාමාන්‍ය මහජනතාවගේද කනස්සල්ලට පාත‍්‍රවී සිටියි. එහෙත්, ඒ සියල්ල හරහා ඔහු පෙන්වන්නේ පළපුරුදු දේශපාලකයකුගේ ලක්‍ෂණය. ඒ අතින් මෛත‍්‍රීපාල සිරිසේන ඉන්නේ පසුපසිනි. ඔහු කරන වැඩ, ගන්නා තීරණ සමහර විට ඒ ඒ අවස්ථාව බලා කරන කියන දෑය. එවැනි මොහොතක ඒ සියල්ල ඉවසීමෙන් බලා සිටින සහ පරෙස්සමෙන් ඒවාට ප‍්‍රතිචාර දක්වන භූමිකාවක් අනෙක් පැත්තෙන් තිබිය යුතුය. අගමැතිවරයා ඒ භූමිකාව හරිහැටි හඳුනාගත් බව පෙනෙයි. ඔහු හැමවිටම ජනාධිපතිවරයා ආරක්‍ෂා කරයි. ඒ හරහා, රටේ පොදු තීරණ ගැනීමේදී අන්‍යොන්‍ය සහයෝගිතාව තබාගැනීමට වෙහෙස වෙයි. මේ බැඳීමෙන් මෙන්ම, තමා පත්කරන්නට වෙහෙසවූ එජාපය ප‍්‍රමුඛ දේශපාලන බලවේගවල හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වයේ බලා පොරොත්තුවලින් පිට පැනීමට තවමත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හැකියාවක් නැත.

පළාත්පාලන මැති වරණයේදී ජනාධිපති වරයාගේ භූමිකාව මේ ලොකු චිත‍්‍රය අවුල් කිරීමට හේතු නොවනු ඇත. පොඩි පොඩි බිඳීම් බෙදීම් ඇතිවිය හැකි නමුත් බරපතළ අවුලක් ඇතිවන්නට ඉඩක් නැත.

Comments