යායුත්තේ පරණගමගෙන් ටිකක් එහාටය


   Syndicated from ravaya,

 paranagama

පසුගිය යුද සමය ගැන දැන් ලංකාව හමුවේ වාර්තා දෙකක් තිබේ. එකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාවයි. අනෙක මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවයි. ඒ අතර ලංකාව මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ ඉතාම වැදගත් තීරණයක් ගැනීමේ අවස්ථාවකට වන අතර, පසුගිය යුද සමයේ සිදුවූ මානව අයිතිවාසිකම් හා අන්තර්ජාතික මානවවාදී නීති උල්ලංඝනයන් පිළිබඳ විශ්වාසවන්ත හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වීම ඒ වැදගත් අවස්ථාවයි.

විපක්‍ෂයේ සමහර පිරිස් වරදවා වටහා ගැනීමෙන්දෝ කියන්නේ, මානව හිමිකම් කවුන්සිලයට පරණගම වාර්තාව ඉදිරිපත් කළා නම් ලංකාව සම්බන්ධයෙන් එහිදී සම්මත වුණු යෝජනාව වෙනස් එකක් වන්නට ඉඩ තිබුණු බවයි. එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණය ගැන දන්නා අය නම් කියන්නේ එවැනි දෙයක් සිදුවන්නට කිසිම ඉඩක් නැති බවයි. ලංකාව විසින් සකස් කළ වාර්තාවක්, ඇරත්, ලංකාව ඒ තත්ත්වයට පත්කිරීමට දායකවුණු ජනාධිපතිවරයාම විසින් පත්කරන ලද කොමිසමක වාර්තාවක් ස්වාධීන, විශ්වාසවන්ත එකක් ලෙස පිළිගන්නට තරම්, එසේ පිළිගෙන ඒ මත තමන්ගේ වාර්තාව වෙනස් කරන්නට තරම්, එක්සත් ජාතීන්ගේ මිනුම්දඬු දුර්වල නැත. අනෙක් අතට එක්සත් ජාතීන්ට අවශ්‍යව තිබුණේ, ලංකාව ගැන තමන්ගේ මිනුම් දඬු අනුව විශ්වාසවන්තව කරුණු සොයාබැලීමටය. ඒ නිසා එය විශ්වාසය තැබුවේ සාමාජිකත්වයට පිළිගත හැකි ක‍්‍රමයක් වන මහ කොමසාරිස්ගේ යාන්ත‍්‍රණය කෙරෙහිය. එය අපක්‍ෂපාතී වාර්තාවක් කරනු සඳහා, එම විමර්ශකයන්ට හා නිලධාරීන්ට ලංකාවට ඒමට ඉඩ දෙන ලෙසත්, ලංකාවට ඒ සම්බන්ධයෙන් කියන්නට තිබෙන කරුණු කියන ලෙසත් ඉල්ලීම් කරන ලද නමුත්, මැදමුලන මෝඩ චණ්ඩි න්‍යාය අනුගමනය කළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කළා මිස ඒ කිසිම දෙයක් කළේ නැත. ඒ නිසා මහකොමසාරිස්ගේ වාර්තාව ඔවුන්ට ලබාගත හැකි තොරතුරු මත පදනම්වූ ඒකපාර්ශ්වික එකක් බව පිළිගන්නට සිදුවෙයි. පරණගම වාර්තාව කවුන්සිලයට පෙන්නුවා නම් හරි කියා දැන් කියන අය ඒ මොහොතේ මහින්ද රාජපක්‍ෂට උපදෙස් දිය යුතුව තිබුණේ, මහකොමසාරිස් සමග සහයෝගයෙන් වැඩ කොට ලංකාවට කියන්නට ඇති දේද වාර්තාවට ඇතුළත් කරගන්නා හැටියටය. එහෙම වුණා නම්, මහකොමසාරිස්ගේ වාර්තාවේ ලංකාවට හිතකර දේද ඇතුළු වන්නට තිබුණා පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට විශ්වාසවන්ත මාර්ගයකින් ලංකාවේ පාර්ශ්වයෙන් කරුණුද දක්වන්නට ඉඩකඩ තිබුණි. එසේ නොවීමේ වගකීම සම්පූර්ණයෙන් පැවරෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා වෙතය.

ඒ අනුව බලන කල, ‘අපි පත්වුණු නිසා මහ කොමසාරිස්ගේ වාර්තාවේ සැර බාල වුණා, නම් කරලා තිබුණු සමහර චූදිතයන්ගේ නම් අයින් කළේ අපි කිව්ව නිසායි’ කියන මෛත‍්‍රීපාල-රනිල් ආණ්ඩුවේ කතාද අප සැලකිය යුත්තේ ගහ නොදන්න අයට කොළ කඩා පාන ආකාරයේ බොරු පුරාජේරු ලෙසයි. ජනවාරි 8න් පසු ලංකාවේ සිදුවූ සාධනීය වෙනස්කම් මහකොමසාරිස් වාර්තාවේදී ගෞරවයෙන් සලකා ඇති නමුත්, ඒ නිසා වාර්තාව වෙනස්වන්නට එක්සත් ජාතීන්ගේ යාන්ත‍්‍රණය තුළ කිසිදු ඉඩක් නැත.

දැන් පරණගම වාර්තාව නිකුත්වී තිබේ. තව නොබෝ කාලයකින් අප පසුගිය සිදුවීම් විමර්ශනයට යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතුය. මනුවර්ණට පෙනෙන විදියට නම්, පරණගම වාර්තාවෙන් සිදුවී ඇත්තේ, විමර්ශන යාන්ත‍්‍රණයට අවශ්‍ය පිටිය සූදානම් කර දීමක්ය.

පරණගම හා මහකොමසාරිස් වාර්තා අතර වැදගත් සමාන ලක්‍ෂණ කිහිපයක් දකින්නට ලැබේ. එකක් නම්, සමූලඝාතන චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කිරීමයි. පසුගිය කාලය පුරාම දෙමළ ඩයස්පෝරාවේ ආන්තික කොටස් ලංකාවේ සිදුවූයේ දෙමළ සමූලඝාතනයක්ය යන චෝදනාව ඉදිරියට ගෙනඒමට උත්සාහ කළ අතර මහකොමසාරිස්ගේ වාර්තාව එවැනි සමූලඝාතනයක් සිදුවූවායැ’යි පිළිනොගනියි. පරණගම කොමිසමද සමූලඝාතන චෝදනාව පිළිනොගනියි.

දෙවැනි වැදගත් සමානකම වන්නේ ගැටුමේදී මියගිය සිවිල් වැසියන්ගේ ප‍්‍රමාණය පිළිබඳ අදහසයි. දරුස්මාන් කමිටු වාර්තාවෙහි යුද්ධයෙහි අවසාන අවධියෙහිදී මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 40,000ක් ලෙස දක්වා තිබුණු අතර, ඒ නිසාම එතැන් පටන් ලංකාව සම්බන්ධව ලියැවුණු සියලූම ජාත්‍යන්තර පුවත්වල අවසානයේ පුරුද්දක් හැටියට ලියැවුණේ ‘සිවිල් වැසියන් 40,000ක් ඝාතනය වුණු ලංකාවේ ගැටුම’ කියාය. මහකොමසාරිස් වාර්තාව කියන්නේ එසේ මියගිය සිවිල් වැසියන්ගේ නියම ගණන තීරණය කිරීම උගහට බවයි. පරණගම වාර්තාව කියන්නේ, දරුස්මාන් කමිටුවේ ඇස්තමේන්තුව වැරදියි, නිවැරදි ප‍්‍රමාණය ඊට අඩුවිය යුතුයි, නමුත් පැහැදිලි ගණනක් කියන්නට බැහැ කියාය. ඒ අතර පරණගම වාර්තාව ඒ ගැන තවත් සංඛ්‍යා ලේඛන උපුටා දක්වයි. එනම්, යූඑන් කන්ටි‍්‍ර ටීම් කියන විදියට එය 7,721ක් බවත්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන විදියට එය 6,710ක් බවත්, ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප් කියන විදියට 7,000කට ආසන්න ප‍්‍රමාණයක් බවත්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන විදියට 10,000ක් පමණ බවත් ආදි වශයෙනි. කොහොම වුණත්, සිවිල් වැසියන්ට සිදුවූ හානි වාර්තාවීමේ අපහසුතාවන් හුවා දක්වන පරණගම කොමිසම කියන්නේ, නිශ්චිත ගණනක් කියන්නට බැරි බවයි. එහෙත් එය කිසිම අවස්ථාවක, සිවිල් වැසියන්ට හානි නොවුණු බවක් නොකියයි.

අනෙක් සමානකම එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ක‍්‍රියා කාරිත්වය ගැනයි. පරණගම වාර්තාව එල්ටීටීඊයේ ම්ලේච්ඡ ක‍්‍රියාවන් පිළිනොගෙන දිගටම මූල්‍යමය හා වෙනත් ආධාර ලබාදීම ගැන ඩයස්පෝරාවට දොස් කියයි. මහකොමසාරිස් වාර්තාව මේ ගැන කියන්නේ, ලංකාව තුළ හා පිටත දෙමළ ප‍්‍රජාව හා සංවිධාන, ඩයස්පෝරාව එල්ටීටීඊ ම්ලේච්ඡු ක‍්‍රියා පිළිගත යුතුව තිබුණු බවයි. එය පිළිනොගෙන සංහිඳියාවක් ඇතිකර ගැනීම උගහට බවද මහකොමසාරිස් වාර්තාව කියයි. ඒ අතින්ද වාර්තා දෙකම කිසියම් සමානත්වයක් දක්වයි. එහෙත් එයින් අදහස් වන්නේ පරණගම වාර්තාව සම්පූර්ණයෙන්ම මහ කොමසාරිස් වාර්තාවට සමාන බව නොවේ. අසමානකම්ද බොහෝය.

පරණගම වාර්තාව ඉතාම පැහැදිලිව, විවිධ සිදුවීම් පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කරයි. ඔවුන් යෝජනා කරන්නේ සම්පූර්ණයෙන්ම දේශීය යාන්ත‍්‍රණයකි. 1981දී ගැම්බියාවේ පිහිටුවන ලද විමර්ශන යාන්ත‍්‍රණය ලංකාවටද ගුරුකොට ගත හැකි බව පරණගම වාර්තාව කියයි. ගැම්බියාවේ විශේෂ අධිකරණය එහි පවතින අධිකරණ පද්ධතියේම හෙවත් ශ්‍රේෂ්ඨාධිකරණයේම යුද අපරාධ පිළිබඳ විශේෂ කොටසක් ලෙස පිහිටුවන ලද්දකි. එහෙත් ඔවුන් පොදු රාජ්‍ය මණ්ඩල විනිශ්චය කරුවන්ද ඊට සහභාගි කරගත් නිසා දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමට එම අධිකරණය ලක්වුණු බවද වාර්තාව කියයි. පුදුමයකට මෙන් පරණගම වාර්තාව ලංකාව සඳහා යෝජනා කරන්නේ, සම්පූර්ණයෙන්ම දේශීය යාන්ත‍්‍රණයකි. කිසිදු විදේශීය විනිශ්චයකාරවරයකු ඊට ඇතුළත් නොවිය යුතු බව එය විශේෂයෙන් අවධාරණය කරයි. එහෙත්, ඒ සඳහා විදේශීය තාක්‍ෂණික සහාය හා නිරීක්‍ෂකයන්ගේ සහාය ලබාගත යුතුයැයිද කියයි. ගැම්බියානු ආදර්ශය අගය කරන පරණගම කොමිසම, හුදෙක් දේශීය යාන්ත‍්‍රණයක් පමණක් ලංකාවට නිර්දේශ කරන්නේ, පසුගිය කාලයේ ලංකාවේ නැගීගෙන ආ ඊනියා ස්වෛරීත්වය පිළිබඳ කථිකාවට හැඟීම්බර ලෙස යටත් වීමෙන් බවයි මනුවර්ණට නම් සිතෙන්නේ. කොහොම වුණත්, පරණගම කියන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට සම්බන් ධව විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතු බවයි. සුදු කොඩි සිද්ධිය, චැනල් ෆෝ වීඩියෝව, හමුදාවට භාරදුන් අය අතුරුදන් වීම, ප‍්‍රභාකරන්ගේ පුතා ඝාතනය කිරීම වැනි සිදුවීම් ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද කොමිසමේ අදහසයි. එක පැත්තකින් එය ඉදිරිගාමී නිර්දේශයකි.

සම්පූර්ණ දේශීය යාන්ත‍්‍රණයක් පිළිබඳ අදහස අවධාරණය කළත්, දේශීය හා ජාත්‍යන්තර පසුබිමේ කරුණු වර්ධනය වී ඇති අන්දමට, දේශීය යාන්ත‍්‍රණයකින් පමණක් ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම අපහසු බව යථාර්ථයක් ලෙස පිළිගැනීමට පරණගම කොමිසම අසමත්ව ඇති බව පෙනෙන්නේය. ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානවවාදී නීති උල්ලංඝනයන් සඳහා වගවීමේ යාන්ත‍්‍රණය ලෙස අමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තරය 2012 වන විටත් යෝජනා කළේ සම්පූර්ණයෙන්ම දේශීය යාන්ත‍්‍රණයක් බව අමතක නොකළ යුතුය. දේශීය යාන්ත‍්‍රණයකින් ගැටලූව විසඳාගැනීමට තිබුණු ඒ අවස්ථා දිගින් දිගටම අතහැරියේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. 2012, 2013 හා 2014 ලෙස පිට පිට දේශීය යාන්ත‍්‍රණයේ සිට මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් දක්වා තත්ත්වය වැඩි වර්ධනය වූයේ රාජපක්‍ෂ ආණ්ඩුවේ දරදඬු ක‍්‍රියා පිළිවෙත නිසාය. දැන් ඇත්ත වශයෙන්ම දේශීය යාන්ත‍්‍රණය යන්න න්‍යාය පත‍්‍රයේ නැත. ඇත්තේ එක්කෝ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයකි. නැතිනම් මිශ‍්‍ර යාන්ත‍්‍රණයකි. ලංකාවට තෝරාගැනීම් ඇත්තේ ඒ දෙකෙන් එකකි. ලංකාව, මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග‍්‍රාහකයකු ලෙස ඇතුළු වීම නිසා, ‘මිශ‍්‍ර’ යන වචනයවත් නැති දේශීය යාන්ත‍්‍රණයක් හරහා විසඳුම් සොයන ලෙසට තත්ත්වය ලිහිල් කරගන්නට හැකියාවක් ලැබිණි. එහෙත් ඇත්ත නම් ‘දේශීය’ වචනය සහිත වුණත් එහි ඇත්තේ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් බවයි. විදේශ විනිසුරුවරුන්, අභි චෝදකයන්, විමර්ශකයන් යාන්ත‍්‍රණ ක‍්‍රියාදාමයට ඇතුළු කරගැනීමට යෝජනා වීමෙන් පෙනෙන්නේ එයයි. ඒ තත්ත්වය නිහතමානීව පිළිගැනීමටත්, ඇත්ත ජනතාවට පැහැදිලි කර දීමටත් අපට හැකිවිය යුතුය.

පරණගම කොමිසම වුවද, මේ යුද අපරාධ පිළිබඳ විශේෂ ක්‍ෂෙත‍්‍රය ගැන විශේෂඥතාවක් හා නිපුණත්වයක් අපේ නීතිය හා සම්බන්ධ ආයතනවලටත් පුද්ගලයන්ටත් නැති බව පැහැදිලිව පිළිගනියි. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අසන අතර, විදේශීය තාක්‍ෂණික හා නිරීක්‍ෂක සහාය ලබාගතයුතුයැ’යි කොමිසම නිර්දේශ කරන්නේ එහෙයිනි.

වැදගත් වන්නේ පරණගම කොමිෂන් වාර්තාව ගැන රටේ ඇතිවී තිබෙන දළ මහජන මතයයි. කිසිවෙක් පරණගම කොමිෂන් වාර්තාව එකහෙළා ප‍්‍රතික්‍ෂෙප නොකරති. එය බටහිර කුමන්ත‍්‍රණයේ කොටසක් කියා ආවේගයෙන් දොස් නොකියති. පරණගම වාර්තාවට එරෙහිව මාරාන්තික උපවාස හෝ මහජන රැුලි නොපවත්වති. එනයින්, ඔවුහු පරණගම කොමිසම කරන නිර්දේශද පිළිගනිති. එනම්, චැනල් ෆෝ සිදුවීමේ සිට සුදු කොඩි සිදුවීම හරහා වූ විවිධ සිදුවීම් පිළිබඳව සාධාරණ පරීක්‍ෂණ පැවැත්විය යුතු බවය. පරණගම වාර්තාව අගය කරන සියලූ දෙනා ඒ නිර්දේශයද උපේක්‍ෂාවෙන් පිළිගන්නා බව පෙනෙයි. පරණගම වාර්තාවේ හා මහකොමසාරිස් වාර්තාවේ කැපී පෙනෙන වෙනස ඇත්තේ එම සිදුවීම් හා සිදුවූවායැ’යි කියන තවත් එවැනි සිදුවීම් ගැන විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත‍්‍රණය ගැනය. මහකොමසාරිස් යෝජනා කරන්නේ මිහ‍්‍ර යාන්ත‍්‍රණයකි. සම්පූර්ණයෙන් දේශීය යාන්ත‍්‍රණයක් ගැන තෝරාගැනීම දැන් කල් ඉකුත්වෙලාය. එනිසා, පිළිගන්නට ඇත්තේ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් පමණකි. වෙන විදියකට කියන්නේ නම් අපට යන්නට ඇත්තේ මැක්ස්වෙල් පරණගම වාර්තාවේ නිර්දේශවලින් ටිකක් එහාට පමණකි.

මිශ‍්‍ර යාන්ත‍්‍රණය ගැන පවතින සැකසංකා දුරලීම අවශ්‍යය. එයට පිළිතුර, මිශ‍්‍ර යාන්ත‍්‍රණය පිහිටුවන්නේ ලංකාවේ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් පනවන නීතියක් යටතේ බව පැහැදිලිව කීමයි. ඒ නීතිය හදන්නේ පාර්ලිමේන්තුවේ සිටින සියලූ ජනතාවගේ නියෝජිතයන් 225 දෙනා විසිනි. ඒ නීතිය පනවන්නට පෙර ප‍්‍රමාණවත් සංවාදයක් ඒ සම්බන්ධයෙන් සමාජයේ ඇතිවිය යුතුය. ඇති කළ යුතුය. ඒ එම යාන්ත‍්‍රණය සිංහල, දෙමළ, මුස්ලිම් හා ජාත්‍යන්තර යන පාර්ශ්වයන්ට පිළිගත හැකි, විශ්වාසවන්ත හා සාධාරණ යාන්ත‍්‍රණයක් කිරීම සඳහාය.

- See more at: http://ravaya.lk/?p=10470#sthash.UKutACmT.dpuf

Comments