ජනාධිපති රාජපක්ෂ සමග කෙරුණු කතාබහ පිළිබඳ සටහනක් II


   Syndicated from ravaya.lk,


 ivan

වික්ටර් අයිවන්

මා මැතිවරණවලදී නිදි මරාගෙන ප‍්‍රතිඵල අහන්නේ නැත. සාමාන්‍ය වෙලාවට නින්දට ගොස් උදේ 3.30ට හෝ 4.00ට පමණ අවදි වී ප‍්‍රතිඵලවලට සවන්දීම මා සාමාන්‍යයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. 2010 ජනාධිපතිවරණයේදීද සිදුවූයේ එයයි. ප‍්‍රතිඵල ප‍්‍රකාශවෙමින් තිබුණු ආකාරය අනුව ජනාධිපතිවරයා පහසු ජයග‍්‍රහණයක් අත්පත් කරමින් තිබෙන බව තේරුම් ගැනීම අපහසු නොවීය. හිමිදිරි උදේ හය පමණ වනවිට මම කරු ජයසූරිය මහතාගේ ජංගම දුරකතනයට කතා කළෙමි. මට අවශ්‍ය වූයේ ලැබෙමින් තිබෙන ප‍්‍රතිඵලය ගැන ඔහු දරන අදහස් දැනගැනීමය.

ජනරාල් ෆොන්සේකා

මට ඔහුගෙන් අසන්නට ලැබුණේ ඇඟ කිළිපොළා යන කතාවකි. ජෙනරාල් ෆොන්සේකා හා ඔහුට ආධාර කළ විරුද්ධ පක්ෂ සන්ධානයේ නායකයන් මැතිවරණ දින රාත‍්‍රියේ නැවතුම් ගෙන සිටි සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය ආරක්ෂක හමුදා වටලාගෙන සිටින බවත් ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම එහි අරමුණ වී තිබෙන බව පෙනෙන බවත් ඒ වනවිටත් හෝටලයේ නැවතුම් ගෙන සිටි ප‍්‍රබලයන් වැඩි පිරිසක් හෝටලයෙන් පිටවී ගොස් ඇති නිසා තමන්ට ෆොන්සේකා තනි කොට යා නොහැකි බැවින් එහි සිටින බවත් ඔහු මට කියා සිටියේය.

ඒ කතාව ඇසීමෙන් පසුව ඔබතුමා ජනාධිපතිවරයාට කතා නොකරන්නේ ඇයිදැයි මම ඇසුවෙමි. ජනාධිපතිවරයාට කතා කිරීමේ කැමැත්තක් තමාට නැති බවත් ඔහු බබෙකු නොවන බවත් කියමින් ඔයාට ඕනෑ නම් ජනාධිපතිවරයාට කතා කර බලන්නැයි මට කියා සිටියේය. කරු ජයසූරියගෙන් අසන්නට ලැබුණු එම කතාව මා අන්දමන්ද කළේය. මම දිනුවොත් මම එයාගේ බෙල්ලෙන් අල්ලා ගන්නවායැයි ජනාධිපතිවරයා මැතිවරණයට පෙර මා සමග කී කතාවද ඒ සමග සිහිපත් විය. ජනාධිපතිවරයාට කතා කොට මගේ බලවත් විරෝධය පළ කළ යුතු යැයි මට සිතුණේය. එහෙත් ජයග‍්‍රහණය හා උපන් දිනය එකම දිනයකදී ඇති බව සිහිපත් වූ විට එම දිනයේ ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කරන්නට උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක්යැයි මට සිතුණේය.

එහෙත් මාගේ බලවත් විරෝධය ජනාධිපතිවරයාට දැනුම්දීමේ බලවත් අවශ්‍යතාවක් හද පත්ලේ තිබුණේය. මා ජනාධිපතිවරයාට සමීප සම්බන්ධයක් ඇති එහෙත් දේශපාලනයට සම්බන්ධයක් නැති මා දන්නා පුද්ගලයකුට දුරකතනයෙන් කතා කළෙමි. ඔහු දුරකතනය වසාගෙන සිටීම නිසා මාගේ අරමුණ සපුරාගත නොහැකි විය. ඉන්පසු මා කාංචන රත්වත්තට කතා කළෙමි. මා ඔහු කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටි අතර ඒ වනවිට ඔහු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෙක් විය. ඔහු වහාම සම්බන්ධ කරගැනීමට හැකිවූ අතර ජයග‍්‍රාහකයා නටමින් සිටින පිස්සුව ගැන ඔහුට මම මගේ විරෝධය පළ කළෙමි. ඔහු මගේ විවේචනයට සවන් දී ඉන්න මම ජනාධිපතිතුමාට දෙන්නම්යැයි කියා සිටියේය. ඉන්පසු අනෙක් පැත්තෙන් කතා කළේ ජනාධිපතිය.

ජනාධිපතිවරයා ‘ඔව්’ මගේ නම කියා ඇයිදැයි කියා මගෙන් අසා සිටියේය. ලැබූ ජයග‍්‍රහණයෙන් පසු පරාජිතයා පීඩාවට පත් කරන ප‍්‍රතිපත්තියක් මගින් දෙන ආදර්ශය කුමක්දැයි මම අසා සිටියෙමි. ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වන ලද්දේ වේගවත් ස්වරයකිනි. මැතිවරණ දින රාත‍්‍රියේ ෆොන්සේකා ප‍්‍රධාන හමුදා නිලධාරීන් ගණනාවකට දුරකතනයෙන් කතා කොට තර්ජනය කර ඇති බව කියා රටේ ජනාධිපති වශයෙන් හමුදාවේ ආවේගයන් මුළුමනින් නොසලකා ක‍්‍රියාකිරීමේ හැකියාවක් නැති බව කියා ඔහු අත්අඩංගුවට ගැනීමේ වුවමනාවක් තමන්ට නැති බවත් කියා සිටියේය. වහාම ඔහුට හෝටලයෙන් පිටවී යන ලෙස දැනුම් දෙන ලෙසද මගෙන් ඉල්ලා සිටියේය.

එම පණිවුඩය දැනුම්දීම සඳහා කරු ජයසූරිය මහතාට කතා කරන්නට අවස්ථා කිහිපයක්ම උත්සාහ දැරුවද ඔහු ජංගම දුරකතනය වසාගෙන සිටීම නිසා එය කළ නොහැකි විය. ඉන්පසු සරත් ෆොන්සේකාට සේ ම කරු ජයසූරියටද සම්බන්ධකම් ඇති මා දන්නා වෙනත් පුද්ගලයකුට කතා කොට මෙම පණිවුඩය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු එම පණිවුඩය ඔවුන් අතට පත් කළේද යන්න මා සොයා බැලීමක් කළේ නැත. දහවල් ජෙනරාල්වරයා එම හෝටලයෙන් ඉවත්ව ගිය බව පමණක් දැනගන්නට ලැබුණි. ජනාධිපතිවරයා ඒ මොහොතේදී ඔහු අත්අඩංගුවට ගත්තේ නැතත් පසුව අත්අඩංගුවට ගත්තේය. උපරිම මට්ටමෙන් ඔහුගෙන් පළිගත්තේය. එය දෙවැනි ධුර කාලයේදී රට පාලනය කරන්නට යන දරදඬු ස්වරූපය සංකේතවත් ලෙස ප‍්‍රකාශ කළ අවස්ථාවක් විය.

සෙලාන් බැංකුව

ලලිත් කොතලාවලගේ ගෝ්ල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් ව්‍යාපාරය අර්බුදයට ගිය අවස්ථාවේදී ඒ රශ්මිය ඔහුගේ සෙලාන් බැංකුවටද බලපෑවේය. සෙලාන් බැංකුවේ තැන්පතුකරුවන් ඔවුන්ගේ තැන්පත් ලබාගැනීම සඳහා පෝලිම් ගැසෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව මට පළමුවෙන්ම දැනගන්නට ලැබුණේ මා හොඳින් දන්නා හඳුනන බැංකුකරුවකුගෙනි. සෙලාන් බැංකුව කඩා වැටෙන තත්ත්වයක් ඇතිවුවහොත් එය ලංකාවේ සමස්ත බැංකු ක‍්‍රමය කෙරෙහිම විනාශකාරී ලෙස බලපෑ හැකි බවද ඔහු කීවේය. මට මේ කතාව ඔහුගෙන් අසන්නට ලැබුණේ සිකුරාදා දිනයකදීය. මම ඒ ගැන වැඩිදුරටත් කරුණු සොයා බලන තැනකට ගියෙමි. බැංකුව විශාල අර්බුදයකට තල්ලූවෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

එම තත්ත්වය මාගේ බලවත් කනස්සල්ලට හේතුවී තිබුණු අතර පසුදින මම ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළෙමි. බැංකුව මුහුණ දී තිබූ අවුල්සහගත තත්ත්වය විස්තර කොට දී එම බැංකුවේ කඩා වැටීමක් ඇති වුවහොත් එය අනෙක් බැංකු කෙරෙහිත් පැතිරිය හැකි බව කියා තැන්පත්කරුවන් තමන්ගේ තැන්පතු ආපසු ලබාගැනීම නැවතිය හැකිවනු ඇත්තේ හැකි ඉක්මනින් බැංකුව පවරා ගැනීමෙන් පමණක් වන නිසා ඊළඟ සතියේ පෝලිම් ඇතිවන්නට පෙර බැංකුව පවරා ගැනීම සඳහා ක‍්‍රියාකරන ලෙස ඉල්ලා සිටියෙමි. ජනාධිපතිවරයා මා කියන කතාව සාවධානව අසාගෙන සිටියා පමණක් නොව බැංකුව පවරා ගැනීම සඳහා ක‍්‍රියාකරන බවද කියා සිටියේය.

මෙම දුරකතන සංවාදය සිදුවූයේ සෙනසුරාදා දිනයකදීය. සඳුදා උදයේ මා කාර්යාලයට යන විට බැංකුව පවරා ගන්නා ලද බව දැනගන්නට ලැබුණි. එය තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියේදී ජනාධිපතිවරයා උපරිම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ජනාධිපතිවරයා එසේ නොකොට බැංකුව කඩා වැටෙන තෙක් බලා සිටියේ නම් වෙනත් බැංකුද විශාල අර්බුදයකට තල්ලූවන්නට ඉඩ තිබුණි.

උපකාර කිරීම

සිදුවූ වෙනත් දේශපාලන සංවාද ගැන කතා කරන තැනකට යන්නට පෙර මා දුෂ්කර තත්ත්වයක සිටි අවස්ථාවකදී මට පිහිටවීමට දරන ලද උත්සාහයක් ගැනද කීම සුදුසුය. මාගේ පුතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයේය. ඔහු අධ්‍යාපනයට දක්ෂයකු වූවා සේ ම චෙස් ගහන්නටද දක්ෂයෙකි. ඔහු චෙස් ක‍්‍රීඩාවෙන් පාසලට ජයග‍්‍රහණ රැුසක් හිමිකර දුන්නේය. පාසල් ජාතික ශූරතාවද, චෙස් ක‍්‍රීඩා සමාජ ජාතික ශූරතාවද, ජාතික ශූරතාවද හිමිකර දුන්නේය. විදුහලේ විදුහල්පති පිළිබඳව රාවයේ පළවූ පුවතක් හේතු කොට විදුහල්පති පුතාගෙන් පමණක් නොව චෙස් ක‍්‍රීඩාවෙන්ද පළිගත්තේය. ඒ සිද්ධිය වනවිට ඔහු විද්‍යා ධාරාවෙන් උසස් පෙළ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු වූ අතර පිට පිට වසර ගණනාවක් ජාතික ශූරතාවද හිමිකරගෙන සිටියේය. විදුහල්පතිගෙන් සිදුවන පළිගැනීම් ඉවසිය නොහැකිව ඔහු අධ්‍යාපනයෙන් ඉවත් වී පූර්ණකාලීන චෙස් ක‍්‍රීඩකයකු බවට පත්විය. ඒ ආකාරයට වසර කිහිපයක් කල් ගෙවීමෙන් පසුව නැවත අධ්‍යාපනයට මාරුවීමට ඔහුට අවශ්‍ය වූ අතර උසස් පෙළ විභාගයට සමාන ජාත්‍යන්තර විභාගයකට පෙනී සිටිමින් පෙනී සිටි සියලූ විෂයයන් සඳහා උපරිම සාමාර්ථයන් ලබාගැනීමටද සමත් විය. ඉන්පසු ඔහුට උපාධි අධ්‍යාපනයක යෙදීමට අවශ්‍ය වූ අතර ඔහු ඒ සඳහා තෝරා ගත් රට බවට පත්ව තිබුණේ නවසීලන්තයයි.

ඔහුගේ විදේශ අධ්‍යාපනය සඳහා කිසියම් ප‍්‍රමාණයකට මුදල් වැය කිරීමේ හැකියාව මට තිබුණද සියලූ වියදම් දැරීමේ හැකියාවක් මට නොතිබුණි. අවශ්‍ය වියදමෙන් විශාලතම කොටස ඔහු වැඩ කර උපයාගත යුතුව තිබුණි. එහෙත් අධ්‍යාපනයට අවශ්‍ය වියදම් තමන් ළඟ තිබෙන බව ඔහු පෙන්විය යුතු විය. ඒ සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් මිලියන 04ක් විය.

මා ජීවත් වන නිවස හා ඉඩම උකසට තබාගෙන ස්ටෑන්ඞ් බයි ණයක් ලබාදීමට බැංකුවක් එකඟ විය. ඒ සඳහා ඉඩම හා නිවස තක්සේරු කිරීමට බැංකුවේ තක්සේරුකරු මගේ නිවසට පැමිණි දිනයේම ජනාධිපතිවරයා ළඟ වැඩ කරන පුද්ගලයෝ තිදෙනෙක් වෙනත් ගමනක් යන අතරමග මගේ නිවසට ගොඩවූහ. ඒ කාංචන රත්වත්ත, මහින්ද ඉලේපෙරුම හා මොන්ටි ගොපල්ලවගේ දුවණියයි. තක්සේරුකරු ගේ හා ඉඩම පරීක්ෂා කරන අතර විටින් විට මගෙන් ප‍්‍රශ්න අසන ලද්දේ ඉහත කී අමුත්තන් තිදෙනා සමග මා සාකච්ඡුා කරමින් සිටියදීය. තක්සේරුකරුගේ ප‍්‍රශ්න කිරීම් ඔවුන්ගේ කුතුහලයට හේතුවූ අතර පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ණය මුදලක් ලබාගැනීම සඳහා මට ගේ හා ඉඩම උකස් කරන්නට සිදුවී තිබෙන පුවත ඔවුන්ට කියන්නට මට සිදුවිය.

මේ සිද්ධියෙන් දින දෙකකට පමණ පසුව ජනාධිපතිවරයා මට දුරකතනයෙන් කතා කළේය. පුතාගේ අධ්‍යාපනයට අවශ්‍ය වියදම් සඳහා ගේ උකස් කරන්නට යන්නේදැයි විමසා ඒ අවශ්‍ය මුදල් තමාට ලබාදිය හැකි බවත් ගේ උකස් කිරීමෙන් වැළකී සිටින ලෙසත් කියා සිටියේය. මා මුහුණ දී සිටින්නේ මට විසඳාගත හැකි පුද්ගලික ප‍්‍රශ්නයකට වන නිසා ජනාධිපතිවරයා ඊට අතගැසීම සුදුසු නැති බව ජනාධිපතිවරයාට කියා සිටියෙමි. මාගේ පිළිතුරත් සමග ජනාධිපතිවරයාද සිය කතාව සමාප්ත කළේය.

එය ජනාධිපතිවරයා මා මීලදි ගැනීමට දරන ලද උත්සාහයක් ලෙස මම නොසලකමි. මා මගේ පුතාගේ අධ්‍යාපනය සඳහා ගෙය හා ඉඩම උකස් කරන්නට යන බව අසන්නට ලැබීම නිසා ජනාධිපතිවරයා තුළ අවංක කනගාටුවක් ඇතිවීම නිසා එසේ කරන්නට ඇතැයි මම සිතමි. මා එම උපකාරය භාර නොගත්තේ මගේ වෘත්තීය ජීවිතයේ තබාගත යුතු ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මට අවශ්‍ය වූ නිසාය.

රොබට් ඕබ්ලේක්

යුද්ධයෙන් පසුව ආණ්ඩුව පවත්වාගෙන ගිය චීන ගැති බටහිර විරෝධී විදේශ ප‍්‍රතිපත්තිය මගේ දැඩි විවේචනයට හේතුවිය. චීනය කෙරෙහි පවත්වාගෙන ගිය අනවශ්‍ය ගැතියාව සේ ම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කෙරෙහි පවත්වාගෙන ගිය විරුද්ධවාදී ප‍්‍රතිපත්තිය රට විශාල අනතුරකට තල්ලූ කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇති බව මගේ විශ්වාසය වී තිබුණි. මා ඒ ගැන ලියන විවේචනයන් ගැන විටින් විට ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙනද තිබුණි.

කිසියම් දිනක ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව මා ලියන ලද විවේචනයක් කියවා දුරකතනයෙන් මට කතා කළ ජනාධිපතිවරයා ‘ඔයා අපේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිගන්න කොහෙත්ම කැමති නැහැ නේද?’යි අසා නියම තත්ත්වය තේරුම් ගැනීමට මම හොඳ කතාවක් කියන්නම් යැයි කියා අපූරු කතාවක් මට කීවේය. ජනාධිපතිවරයා කියන ලද කතාව අනුව ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕබ්ලෙක්ගේ උපදෙස් අනුව ජනාධිපතිවරයාට සමීප හමුදා නිලධාරියකු (ඔහු නමින් ප‍්‍රසිද්ධ හමුදා නිලධාරියෙකි) ඇමරිකන් තානාපති කාර්යාලයට කැඳවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා ජනාධිපතිට එරෙහිව සාක්ෂි දෙන ලෙස ඉල්ලා එසේ කිරීමට එකඟවන්නේ නම් ඒ හමුදා නිලධාරියා ඇතුළු ඒ පවුලේ සියලූදෙනාට ඇමරිකාවට ගොස් එහි ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට සහතික වී තිබේ. එම කතාව ජනාධිපතිවරයාට කියා ඇත්තේ එම හමුදා නිලධාරියා විසින්මය. ඇමරිකාව ශුද්ධවන්ත රටක් නොවෙතත් මෙතරම් මෝඩ විදියට එසේ කරනු ඇතැයි මට විශ්වාස කළ නොහැකි විය. ජනාධිපතිවරයා මෙම කතාව මා සමග කියන ලද්දේ බ්ලේක් එක් දිනක සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ දිනයේදීමය.

මම වහාම ජනාධිපතිවරයා කියන ලද කතාවේ ඇත්ත නැත්ත සොයා බලන උත්සාහයක නිරතවීමි. ඒ නිසා මට සොයා ගැනීමට ලැබුණු කතාව ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණු කතාවට මුළුමනින් වෙනස්ය. බ්ලේක් ලංකාවේ ඇමරිකානු තානාපති වශයෙන් ක‍්‍රියාකරන කාලයේදී ඉහත කී උසස් හමුදා නිලධාරියා බ්ලේක් හමුවී යුද්ධයේ අවසන් දින කිහිපයේ යුද බිමේ සිදුවූ දේවල් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. බ්ලේක් ඔහු කියන දේවල් සටහන් කරගනිමින් පසුව එම සාකච්ඡුාවේ පූර්ණ වාර්තාවක් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට කේබල් කර තිබේ. කිසියම් අවස්ථාවකදී ‘විකීලීක්ස්’ වෙබ් අඩවිය ඇමරිකානු තානාපතිවරුන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබෙන රහස්‍ය කේබල් පණිවුඩ ලක්ෂ ගණන් මහජනයාගේ දැනගැනීම සඳහා මුදාහැරියේය. ඉහත කී හමුදා නිලධාරියා කියන ලද කතාවට අදාළව බ්ලේක් යවන ලද රහස්‍ය කේබල් පණිවුඩයද එසේ මුදාහරින ලද කේබල් පණිවුඩ ගොන්නට ඇතුළත්ව තිබුණි. එහෙත් ඒ බව ලංකාණ්ඩුව දැන නොසිටියේය. ලංකාණ්ඩුවේ මුග්ධභාවයේ තරම ඒ අනුව සිතාගත හැකිය. එහෙත් බ්ලේක් සිතුවේ ඒ බව ලංකාණ්ඩුව දන්නා බවය. ඒ නිසා එම හමුදා නිලධාරියාට හානියක් වනු ඇතැයි සිතා අවශ්‍ය වෙතොත් එම හමුදා නිලධාරියාට ආරක්ෂාව ලබාදෙන ලෙස ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා මට පමණක් නොව වෙනත් විවිධ අයටද කියා තිබෙන මෙම කතාව ඇමරිකානු තානාපති කාර්යාලයට දැනගන්නට ලැබී බ්ලේක් ආපසු යන්නට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවී එම කේබල් පණිවුඩයේ පිටපතක් ඔහුට දෙන්නට අදහස් කරගෙන සිටින බවද මට දැනගන්නට ලැබුණි.

මෙම නාටකයේ වැදගත්ම ජවනිකාව ලෙස සැලකිය හැක්කේ එදින රාත‍්‍රී පුවත්පත් කතුවරුන් කිහිපදෙනකු සඳහා ජනාධිපතිවරයා පවත්වන ලද භෝජන සංග‍්‍රහයකට සහභාගිවීමට මට සිදුවීමය. සන්ඬේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංග, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, දි අයිලන්ඞ් කර්තෘ ප‍්‍රභාත් සහබන්දු ඊට සහභාගි වූ අනෙක් කර්තෘවරු වූහ. ජනාධිපතිවරයාට අතිරේකව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපතිගේ මාධ්‍ය ලේකම් බන්දුල ජයසේකරද ඒ අවස්ථාවට සහභාගි වූහ.

සතුටු සාමීචිය පටන් ගත් ආරම්භයේදීම ජනාධිපති උදේ හමුදා නිලධාරියා පිළිබඳව මට කී කතාව එහි සිටියවුන්ට කීවේය. එම සභාව එම විශේෂ කතාව කීමේ අරමුණින්ම කැඳවන ලද්දක් ලෙසද සැලකිය හැකිය. මම ඇත්ත දැනගෙන සිටි බැවින් නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් මට නොවීය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව මම මා දැනගන්නා ලද කතාව ජනාධිපතිවරයාට කීවෙමි. මා මගේ කතාව අවසන් කරනවාත් සමගම ලලිත් වීරතුංග කතා කරමින් මෙසේ කීවේය. ‘සර් වික්ටර් කියන දේ හරි. බ්ලේක් අද සවස ආරක්ෂක ලේකම්වරයා හමුවී එම කේබල් පණිවුඩයේ පිටපතක් ඔහුට දෙන ලද බව දැන් සුළු මොහොතකට පෙර ආරක්ෂක ලේකම්වරයා මට දැනුම් දුන්නා.’ ජනාධිපතිවරයාගේ මුහුණ අඳුරු වී තිබුණි. පරස්පර විරෝධී කතා දෙක ඇසූ පුවත්පත් කතුවරුන්ද විස්මයට පත්වී සිටි බව පෙනෙන්නට තිබුණි. රටේ සමහර තීන්දු ගෙන තිබුණේ කොතරම් හිතුවක්කාරී හා පදනම් විරහිත ආකාරයටද යන්න ඉන් සිතාගත හැකිය.

ගෝඨාගේ බැණ වැදීම

මගේ ඊළඟ කතාව සන්ඬේ ලීඩර් කතුවරිය (ෆ්‍රෙඞ්රිකා ජෑන්ස්) ආරක්ෂක ලේකම්වරයාගෙන් දුරකතනයෙන් කරන ලද කරුණු විමසීමකදී ලේකම්වරයා ඇයට අසභ්‍ය ලෙස බැණ වැදීමේ සිද්ධියට අදාළවය. එම සිදුවීම වාර්තා වීමෙන් පසු දින ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් බන්දුල ජයසේකර මට දුරකතනයෙන් කතා කොට පුවත්පත් කතුවරුන් කිහිපදෙනකු සඳහා එදින රාත‍්‍රියේ පැවැත්වෙන භෝජන සංග‍්‍රහයකට සහභාගි වන ලෙස මට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා පුවත්පත් කතුවරියකට අසභ්‍ය වචනවලින් බැණ වැදීමේ සිද්ධියකට පසුව ජනාධිපතිවරයා පවත්වන භෝජන සංග‍්‍රහයකට සහභාගිවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරමින් මා ඊට සහභාගි නොවන බව කියා සිටියෙමි. ඉන් ටික වේලාවකට පසුව නැවත බන්දුල මට කතා කළේය. මා කියන ලද දේ ජනාධිපතිවරයාට දැනුම් දෙන ලද බවත් මගේ සහභාගිත්වය ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් කියා සිටියේය. මගේ විවේචනය ජනාධිපතිවරයාගේ මුහුණටම කීම වඩා සුදුසුයැයි කල්පනා කොට එම අවස්ථාවට සහභාගිවීම සඳහා මම එහි ගියෙමි.

සිංහ රත්නතුංග, සිරි රණසිංහ, ප‍්‍රභාත් සහබන්දු හා ඬේලිමිරර් කර්තෘ චම්පිකා ලියනාරච්චි ඒ අවස්ථාවට සහභාගි වූ අනෙකුත් කතුවරු හා කතුවරියෝ වූහ. කුතුහලයට හේතුවන වැදගත්ම සහභාගිත්වය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේය. ඔහු අසුන්ගෙන සිටියේද මා වාඩිවූ පුටුවට අල්ලපු පුටුවේය. ජනාධිපතිවරයාට අතිරේකව ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් ලලිත් වීරතුංග හා බන්දුල ජයසේකරද සහභාගි වූහ.

මත්පැන් සංග‍්‍රහයේදී මා සැර මත්පැන් වර්ගයක් වෙනුවට තෝරා ගත්තේ වයින්ය. එය ජනාධිපතිවරයාගේ කුතුහලයට හේතුවූ අතර මා සාමාන්‍යයෙන් සැර බීම මිස වයින් බොන්නේ නැහැ නේදැයි ඔහු මගෙන් විමසීය. ඔළුව සන්සුන්ව තබාගත යුතු අවස්ථාවලදී මම සැරබීම නොබොන බව ජනාධිපතිවරයාට කීවෙමි. සැරබීම බොන කතුවරුන් සැරබීම බොන විට ජනාධිපති, ආරක්ෂක ලේකම් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනා බීවේද වයින්ය.

පැය භාගයක් තරම් වන කාලයක් ගතකෙරුණේ කිසිම වැදගැම්මකට නැති අනම් මනම් කතාවලටය. ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට මට අවශ්‍ය වූ අතර ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් වශයෙන් අප මෙහි කැඳවන ලද්දේ රටේ සිදුවන සමහර දේවල් ගැන අදහස් දැනගැනීමට නම් අප ඒ ගැන කරන කතාවට මාරුවීම සුදුසු නේදැයි මම කියා සිටියෙමි. එවිට මට කතාව ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය. සාකච්ඡුාවට ලක් කරන්නට තිබෙන ලොකුම සිද්ධිය ඔබතුමාගේ සහෝදරයා පුවත්පත් කතුවරියක දුරකතනයෙන් කරන ලද කරුණු විමසීමකදී ඉතා පහත් හා නොහොබිනා ආකාරයකින් ඇයට බැණ වැදීම බව කියමින් ආරක්ෂක ලේකම්වරයා විශේෂයෙන්ම කාන්තාවකට එසේ කතා කිරීම ගැන ලැජ්ජා විය යුතු බවද කියා සිටියෙමි. ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ නිදහසට මොන මොනවා හෝ කියන්නට උත්සාහ කළද මම ඔහුගේ ක‍්‍රියාව දැඩි ස්වරයකින් විවේචනයට ලක් කළෙමි. මෙම උණුසුම් සංවාදය අතරමැද ආරක්ෂක ලේකම්වරයා සුළු වේලාවකට එම ස්ථානයෙන් පිටවී ගොස් නැවත එහි ආවේය. ඒ අතරතුර මේ ප‍්‍රශ්නයේදී නම් ගෝඨාභය වැරදියි කියා ජනාධිපතිවරයා තමන් ළඟ වාඩිවී සිටි ඬේලිමිරර් කතුවරියට කියනවා මට ඇසුණි. ඒ හැර ඒ ගැන කිසිදු සාකච්ඡුාවක් සිදු නොවීය. පත්තර කතුවරුන්ද නිශ්ශබ්දව බලා සිටියා මිස එම සිද්ධිය පිළිබඳව අදහස් පළකිරීමට එය අවස්ථාවක් කරගත්තේ නැත.

මා කෑම මේසයට ගියේ කලකිරීමකින් යුතුවය. ඉක්මනින් පුංචි ආහාර වේලක් ගෙන ජනාධිපතිවරයා සමග කිහිපදෙනෙකුට සීමාවූ එම භෝජනය අවසන් වන තෙක් නොසිට ජනාධිපතිවරයාට කියා චාරිත‍්‍ර විරෝධී ලෙස ආපසු ආවේ මා නැති තැන හෝ ඒ ගැන කතා කිරීමට ඒ සියලූදෙනාට අවස්ථාවක් ලබාදීම සඳහාය.

ආරක්ෂක ලේකම්වරයා ඔහුගෙන් කරන ලද කරුණු විමසීමකදී ෆ්‍රෙඞ්රිකාට අසභ්‍ය වචනවලින් බැණ වැදීමෙන් කර තිබුණේ සරල වරදක් නොව බරපතළ වරදකි. ඊට බලවත් ලෙස විරෝධය පළකිරීමට මට අවශ්‍ය වූ අතර යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු ගෝඨාභය මිනිසුන් භීතියට පත් කරන පුද්ගලයකු බවට පත්ව තිබීම නිසා ඔහු බලවත් ප‍්‍රශ්න කිරීමකට ලක් කොට ඔහු ඊට දක්වන ප‍්‍රතිචාරය දැනගැනීමේ උනන්දුවක්ද මට තිබුණි. ඔහු ඉතාමත් බලවත් තත්ත්වයක සිටින අවස්ථාවකදී කතුවරුන්, නිලධාරීන් හා ජනාධිපතිවරයා ඉදිරියේ මා විසින් කරන ලද එම ප‍්‍රශ්න කිරීම ඔහුගේ සිත් සසල කරවන සිද්ධියක් වන්නට ඇතත් එම සිදුවීමෙන් පසුව ඔහු කවර ආකාරයකින්වත් මා පීඩාවට ලක් කරන කවර දෙයක්වත් නොකළ බවද කිව යුතුය.

පොරොන්දු වී තිබූ පරිදි මේ ලිපිය මේ වාරයෙන් අවසන් කිරීමට නොහැකි වීම ගැන පාඨකයන්ට මගේ කනගාටුව පළ කළ යුතුය. තවමත් මා මගේ නිදාන කතාව කියා නොමැති බැවින් එය කියා මෙම ලිපි පෙළ ඊළඟ ලිිපියෙන් අවසන් කරමි.

- See more at: http://ravaya.lk/?p=10365#sthash.RUjUItVW.dpuf

Comments