අමෙරිකාව මහින්දට හතුරුද? මෛත‍්‍රී-රනිල්ට මිතුරුද?


   Syndicated from ravaya,

 mahuwarna

මනුවර්ණගේ සතිය

මේ දිනවල ජිනීවා යෝජනාවලිය ගැන කතා කරන ජාතිකවාදීන්ගේ එක් ප‍්‍රධාන අදහසක් වී තිබෙන්නේ අමෙරිකාව මහින්ද සමග තරහ වී සිටිය බවත්, ඒ නිසා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව විවිධ කෙණෙහිලිකම් කළ බවත්, ඒ මහින්ද අමෙරිකාවේ න්‍යාය පත‍්‍රයට වැඩ කරන්නට කැමති නැති වුණු නිසා බවත්ය. දැන් මෛත‍්‍රී හා රනිල් අමෙරිකාවේ න්‍යාය පත‍්‍රයට අනුව සිය කැමැත්තෙන්ම කටයුතු කරන නිසා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව අමෙරිකාව නොයන බවත්ය.

ඇත්ත වශයෙන්ම, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේත් අමෙරිකාව හිටියේ මහින්දට හා ලංකාවට හිතවත්වය. එල්ටීටීඊයට එරෙහිව සටන් පැවැති කාලයේ ලංකාවේ හමුදාවලට අමෙරිකාව දුන් උදව් නිසා නොවන්නට, එල්ටීටීඊ විශාල නාවික යාත‍්‍රා සැලකිය යුතු ප‍්‍රමාණයක් ඈත මුහුදේදී විනාශ කරන්නට ලංකාවේ හමුදාවලට නොහැකි වනවා ඇත. ඈත ජාත්‍යන්තර මුහුදේ සරන එල්ටීටීඊ අවි රැුගත් විශාල නැව් ගැන ලංකාවේ නාවුක හමුදාව දැනුවත් කර, අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාදී එම යාත‍්‍රාවලට ප‍්‍රහාර එල්ල කිරීමට ලංකාවට පහසුකර දුන් එක් රටක් වන්නේ අමෙරිකාවයි. අවාසනාවට අමෙරිකාවේ මේ සහාය ගැන රාජපක්‍ෂ ආණ්ඩුවේ හිටපු කිසිවකු වත්, දැන් රාජපක්‍ෂ සමග නැගිටින්නට හදන කිසිවකුවත් මතක් කරන්නේ වත් නැත. 
යුද්ධය අවසන්වී කාලයක් ගතවන විටත් අමෙරිකාව සිටියේ ලංකාවට හිතවත් තැනකය.

යුද්ධය අවසන් වූ වහාම ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2009 මැයි 23වැනිදා ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළේය. එය ගිවිසුමක් නොවන බව ඇත්තය. එහි අවසන් ඡෙදයේ කියන්නේ ‘ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන් හා ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම් නිසි ලෙස පවත්වාගනිමින් මානව හිමිකම් ආරක්‍ෂාවට හා ප‍්‍රවර්ධනයට තමන්ගේ ඇති දැඩි කැපවීම ලංකාව නැවතත් අවධාරණය කරන බව’යි. ජාත්‍යන්තර මානවවාදී හා මානව හිමිකම් නීති උල්ලංඝනයන් ගැන වගවීමේ ක‍්‍රියාවලියක වැදගත්කම මහලේකම්වරයා අවධාරණය කළ විට, ‘ලංකාව ඒ දුක්ගැනවිලි ආමන්ත‍්‍රණය සඳහා පියවර ගන්නා බව’ද එහි සඳහන්ය. ගිවිසුමක් නොවුණත් ඉහත සඳහන් එකඟවීම් මගින් පැහැදිලි වන්නේ, මහලේකම්වරයා අවධාරණය කළ දේවල් බැරෑරුම් ලෙස සලකා ඊට යහපත් ප‍්‍රතිචාරයක් දක්වන්නට මහින්ද රාජපක්‍ෂ එකඟ වූ බව මිස වෙන මොකක්ද? අනෙක මේ හුදෙක් රටවල් දෙකක් අතර එකඟතාවක් නොවේ. සාමාජිකයන් 193ක් සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් හා එක්සත් ජාතීන්ගේ සම්මුතීන්වලින් බැඳී සිටින රටක නායකයකු අතර එකඟතාවකි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ කියූ විදියට දුක්ගැනවිලි ආමන්ත‍්‍රණය කරන්නේ නම්, එය කළ යුත්තේ එක්සත් ජාතීන් හා බැඳී ඇති පරිදි ඒ මූලධර්මවලට අනුකූලවය.

එහෙත්, ලංකාව ප‍්‍රමාණවත් තරමින් තමාගේ ‘කැපවීම’ අනුව ක‍්‍රියාත්මක වූයේ නැත. මේ තත්ත්වය මත ලංකාව සම්බන්ධයෙන් තමාට උපදෙස් හා තොරතුරු ලබාදීම සඳහා මාර්සුකි දරුස්මාන්, ස්ටීවන් රැුට්නර් හා යස්මින් සූකා යන විද්වතුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුවක් මහලේකම්වරයා විසින් පත්කරන ලදි. ලංකාව මේ දරුස්මාන් කමිටුව සමග මාරාන්තික වෛරයක් ඇතිකර ගත් අතර කිසිදු ආකාරයකින් කමිටුවේ විමර්ශන හෝ තොරතුරු දැනගැනීමේ කටයුතුවලට සහයෝගය නොදී සිටීමට තීරණය කළේය. කමිටු සාමාජිකයන්ට ලංකාවට පැමිණීමට අවසරද දුන්නේ නැත. ඒ අතර, 2011 අපේ‍්‍රල් මස දරුස්මාන් කමිටුව සිය වාර්තාව මහලේකම්වරයාට භාරදුන්නේය.

එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2002 සිට 2009 මැයි දක්වා කාලය තුළ සිදුවූ සිදුවීම් ගැන සොයාබැලීම සඳහා 2010 මැයි මාසයේදී හිටපු නීතිපති සීආර් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් අට දෙනකුගෙන් යුක්ත ජනාධිපති කොමිසමක් පත්කළේය. කොමිසමේ නම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමය. නමේ හැටියටම අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමත්, ඒ සිදුවීම් නැවත නොවන්නට සංහිඳියාව ඇතිකිරීමත් සඳහා කොමිසම කරන නිර්දේශ මොනවාදැ’යි ජනතාව බලා සිටියේ, කොමිසමේ සභාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සමීපතම මිතුරෙකිය යන විවේචනයද තදින්ම පවත්වාගෙන යමිනි. කොමිසම 2011 නොවැම්බර් 15 දින සිය වාර්තාව හා නිර්දේශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.

ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දැක්ම වෙනස්වන්නට පටන්ගන්නේ 2012 සිටය. 2012 දී ලංකාව සම්බන්ධයෙන් වූ පළමුවැනි යෝජනාව අමෙරිකාවේ මැදිහත්වීමෙන් කවුන්සිලයේ සම්මත කරගන්නා ලදි. එම යෝජනාව සම්බන්ධයෙන් 2012 පෙබරවාරි 23වැනිදා ජිනීවාහිදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන කවුන්සිලයේ අමෙරිකා නියෝජිත එලීන් චෙම්බර්ලේන් ඩොනහියු මහත්මිය ලංකාව ගැන දක්වන අදහස මෙසේය. ‘අවසාන වශයෙන් කිවයුත්තේ කවුන්සිලයේදී ගතහැකිව තිබෙන පියවර සම්බන්ධයෙන් අප හමුවේ තිබුණේ විකල්පයන් දෙකක් බවයි. එක්කෝ අප කළ යුතුව තිබුණේ කිසිවක් නොකර නිහඬව සිටීමයි. එය හරියටම ලංකා ආණ්ඩුව මේ දක්වා ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් බවට අප විසින් සහතිකයක් දීම වගෙයි. එය පිළිගත හැකි විකල්පයක් නොවන බව අපි දැනගෙන හිටියා. අනෙක් විකල්පය වූයේ සමහර අය විසින් ඉල්ලා සිටි ආකාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත්කොට මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පවරාගෙන එක්තරා ආකාරයක ජාත්‍යන්තර වගවීමක් සහතික කිරීමයි. එහෙත් මෙහිදී අප උත්සාහ කරන්නේ තුන්වන මාවතක් සොයාගැනීමටයි. අප මෙහිදී ආණ්ඩුව විසින් පෙරමුණු කිහිපයකදී ප‍්‍රතිසන්ධානය ඇතිකිරීම සඳහා ගෙන ඇති පියවරයන්හි සාර්ථකත්වය පිළිගෙන ඒවා අගය කරනවා. කෙසේ වෙතත්, ඒ අතරම අප කියන්නේ එය ප‍්‍රමාණවත් නොවන බවත්, ඔබගේම ජනතාව වෙනුවෙන් ප‍්‍රතිසන්ධානය හා කල්වත්නා සාමය ඇතිකර ගැනීම සඳහා ඔබ මීට වඩා පියවර ගත යුතු බවත්ය.’

ඇය තවදුරටත් මෙසේ කියයි. ‘අප තවමත් තදින්ම වෑයම් කරන්නේ අපේ වෑයමට ලංකාවේ අනුමැතිය ලබාගන්නයි. ගිය සඳුදා මං මෙහි සිටින ලංකාවේ තානාපතිනියට (තමාරා කුනනායගම්) කතා කළ විට පිළිතුර වූයේ ඔවුන් එයට කැමති නැත යන්නයි. මං හිතන්නේ අපේ උත්සාහයට හරස් කපන එක එයාලාගේ මෝඩකමක්. අපි පැහැදිලිවම කියා තිබෙනවා, අපි මේ යෝජනාව ගෙන එන බවත්, එය අනිවාර්යයෙන්ම සාර්ථක වන බවත්. මේ අවස්ථාවේදී අප කල්පනා කළේ අපේ මිත‍්‍රත්වයේ හස්තය ලංකාව වෙත දිගු කිරීම වඩා සමබර පියවර බවයි. විදේශ ඇමති පීරිස්ට වොෂින්ටන් පැමිණෙන ලෙස රාජ්‍ය ලේකම් ක්ලින්ටන් ආරාධනා කර තිබෙනවා. ලංකාව දේශීය වශයෙන් ගත් පියවරවල සමහර අංශ ඉතා හොඳ බව ඇය කියා තිබෙනවා. ඒත් වගවීම පිළිබඳව ලංකාව දරා ඇති උත්සාහයන් ප‍්‍රමාණවත් නැහැ.’ (උපුටාගැනීම 2012 මාර්තු 11 රාවය, සමබිම අතිරේකයෙනි.)

මේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ලංකාව ඒ වනතෙක් ගෙන තිබූ පියවර සෑහීමට පත්විය හැකි දේ වුණත්, තවත් ගතයුතු පියවර තිබෙන බවයි. 2012 වන විට අමෙරිකාව කළේ කර ඇති දේ ගැන ප‍්‍රශංසා කරමින් කළ යුතුව ඇති දේ කරන ලෙස ලංකාව පෙළඹවීමට උත්සාහ ගැනීමයි. එහෙත් ලංකාවේ ප‍්‍රතිචාරය කුමක්දැ’යි තමාරා කුනනායගම් ගැන ඇය කියන කරුණුවලින් පැහැදිලිවෙයි. ලංකාවේ උද්දච්ච උත්තරය ’බැහැ’ යන්නයි.

කෙසේ වෙතත් 2012 මාර්තු සැසිවාරයේදී අමෙරිකාව ඉදිරිපත් කළ එම යෝජනාවෙන් ප‍්‍රධාන වශයෙන් කාරණා දෙකක් අවධාරණය කරන ලදි. පළමුවැන්න, ලංකාවේ ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසය. දෙවැන්න එම කොමිසමෙන් ප‍්‍රමාණවත් ලෙස අමතා නැති ‘වගවීමේ’ කාරණය ගැන කටයුතු කරන පිළිවෙළක් සකස්කර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙසය.

මේ කවුන්සිල සැසිවාරයට සහභාගිවූ එවකට මානව හිමිකම් ඇමති මහින්ද සමරසිංහ කවුන්සිලය ඉදිරියේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ සියයකට වඩා ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වුණේය. එහෙත් ලංකාව ඒ පොරොන්දුව ඉටු කළේ නැත. පසුව රාජපක්‍ෂ ආණ්ඩුව විසින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ප‍්‍රධානත්වයෙන් කාර්ය සාධක ඒකකයක්ද ඇතිකළේය. එහෙත් වැදගත් කිසිවක් සිදුනොවිණි.

යම් හෙයකින්, ලංකාව පොරොන්දු වූ පරිදි, ඒ අවස්ථාවේදී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින්, වගවීම සඳහා වැඩපිළිවෙළක්ද ඇතිකළේ නම්, මහින්ද රාජපක්‍ෂ මහතා අදත් සිටිනු ඇත්තේ ජනාධිපතිධුරයේය. අද තමාගේ වෛරක්කාරයකු ලෙස ඔහු සලකන අමෙරිකාව එසේ නම් ඔහුගේ තද මිතුරකු වී සිටින්නටද ඉඩ තිබිණි.

ඒ අතර, එතෙක් උතුරු නැගෙනහිරට පමණක් සීමාවී තිබුණු මහා පරිමාණ මානව හිමිකම් කඩකිරීම් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් රට පුරා ව්‍යාප්ත කරන ලදි. පැහැරගෙන යෑම්, අනීතික ලෙස රඳවා තැබීම්, වධහිංසා කිරීම්, අතුරුදන් කිරීම්, සාමකාමී මහජන උද්ඝෝෂණවලට වෙඩි තබා ඝාතනය කිරීම්, වැරදි කර නීතියෙන් ගැලවී යන්නට ඉඩතැබීම් රට පුරා පැතිරී ගියේය. ඊට අමතරව, අධිකරණය තමන්ගේ පාලනයට ගත් ආණ්ඩුව අගවිනිසුරුවරිය හිතුමතේ අයින්කොට, එහි ස්වාධීනත්වය විනාශ කළේය. වැටී තිබෙන නරක තත්ත්වයෙන් ගොඩ ඒමට පියවර තබනවා වෙනුවට රාජපක්‍ෂ ආණ්ඩුව කළේ අඳුරටම රට ඇදගෙන යන්නට පියවර ගැනීමයි. මේ බරපතළ තත්ත්වය යටතේ ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන්නට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැති. මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් යෝජනා කරන්නේ ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

එහෙත් ජනවාරි 8න් පසු ලංකාවේ තත්ත්වය වෙනස් අතට හැරෙන්නට විය. හෙමින් නමුත්, ප‍්‍රතිසංස්කරණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම දෙසට ලංකාව යළි ගමන් ආරම්භ කළේය. 2015 මාර්තු මාසයේදී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව එළිදැක්වීම ප‍්‍රමාද කරන ලෙස ලංකාව ඉල්ලීමක් කළේ ඒ වෙනස තවදුරටත් ගෙනයමින් වගවීම පිළිබඳ යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වෙමිනි. එය රාජපක්‍ෂ ආණ්ඩුවේ ප‍්‍රවේශයට වඩා සම්පූර්ණයෙන්ම පරස්පර එකකි. මානව හිමිකම් කවුන්සිලයද සාමාජික යන්ගේ ඉල්ලීම පරිදි ලංකාවට අවස්ථාව දීම සඳහා මින් පෙර නොකළ ආකාරයට වාර්තාව ඉදිරිපත් කිරීම ඊළඟ සැසිවාරයට කල්දැම්මේය. එය ලංකාවට කල්දීමක් මිස, ලංකාව සම්බන්ධ ග‍්‍රහණය ඉවත්කර ගැනීමක් නොවේ. තවදුරටත් බුද්ධි ගෝචර පියවරක් තබමින් ලංකාව, මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග‍්‍රාහකයකු වීමට කටයුතු කරමින්, ජාත්‍යන්තර වළල්ලේ සාමාජිකයකු බවට තෙමේම පත්විය. අමෙරිකාව මෛත‍්‍රීට හා රනිල්ට හිතවත් යැයි කියන්නේ මේ තත්ත්වය නිසාය.

එහෙත්, තේරුම්ගත යුත්තේ ලංකාව සම්බන්ධ යෙන් දැන් සියල්ල හරි නැති බවය. ලංකාවේ දකුණු අප‍්‍රිකානු මහකොමසාරිස් වරයා පහුගිය දාක කීවාක් මෙන්, දැන් තිබෙන්නේ කුනාටුවකට පෙර සන්සුන් තත්ත්වයකි. කුනාටුව ඇතිවෙනවාද කියන එක රඳා පවතින්නේ මේ සන්සුන් අවස්ථාවේදී ලංකාව කටයුතු කරන ආකාරය බුද්ධිමත්ද නැද්ද යන්න මතය.

- See more at: http://ravaya.lk/?p=10368#sthash.aybN3A7R.dpuf

Comments