මහත්වරුනි, ජිනීවා ගැන බොරු එපා


   Syndicated from ravaya,

 geneva

අරුණි ජයකොඩි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව බොහෝ දෙනකු විසින් රට තුළ විවිධ මිථ්‍යාවන් ව්‍යාප්ත කරන්නට හේතුවක් කරගන්නා බව පෙනෙයි. ඔවුන් කියන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාව ලංකාවට එරෙහිව විවිධ පැතිවලින් දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව, එහි නිර්දේශයන් මෙන්ම අනාගත දේශීය වැඩපිළිවෙලක් වේ නම් ඒ සියල්ල පිළිබඳව ගැඹුරින් සංවාද කළ යුතුය. එහෙත් එවැනි සංවාද කළ යුත්තේ කරුණු මත පදනම් වෙමින් අප රටේ නීති පද්ධතිය සහ ලෝකයේ වෙනත් රටවල සංක‍්‍රාන්ති යුක්තිය පසිඳලීම සිදු කර ඇති ආකාර පිළිබඳ මනා අවබෝධයක් ඇතිව මිස හුදු ජාතිකවාදය පදනම් කොටගෙන ජනතාව අවුස්සා තමන්ට නැතිව ගිය බලයක් නැවත ආරෝපණය කරගැනීමේ අදහසින් නොවේ.

මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීම රට විදේශිකයන්ට පැවරීමකට සමානද?

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාව නිර්දේශ කරන ලද්දේ ලංකාව තුළ ‘තත් කාර්ය’ විශේෂ මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවිය යුතු බවයි. එහෙත් ලංකාවේ සම අනුග‍්‍රහය ඇතිව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ ‘මිශ‍්‍ර’ යන වචනය භාවිත කර නැත. ඒ වෙනුවට පොදු රාජ්‍ය මණ්ඩල හෝ විදේශීය විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, විත්තියේ නීතිඥවරුන් සහ විමර්ශන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිත අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවීමට රජය එකඟතාව පළ කළේය.

යම් ක‍්‍රියාවලියක් හඳුන්වන්නේ ‘මිශ‍්‍ර අධිකරණයක්’ ලෙසින්ද එසේ නොවේ නම් ‘විශේෂ නීති උපදේශක කාර්යාලයක්’ ලෙසින්ද යන්න වැදගත් නොවේ. මිශ‍්‍ර අධිකරණයක් යන්නට නිශ්චිත නිර්වචනයක් නැත. මෙතෙක් කල් පිහිටුවා තිබු සෑම මිශ‍්‍ර අධිකරණයක්ම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුල වන පරිදි පිහිටුවා තිබිණ. බොහෝවිට ඒවා දේශීයව පනතක් සම්මත කිරීම මගින් පිහිටුවනු ලැබීය.

ආචාර්ය දයාන් ජයතිලකගේ උපකල්පනයකට අනුව මිශ‍්‍ර අධිකරණයේ කටයුතු සඳහා විදේශිකයන් සහභාගි වීම නිසා කිසිදු විවාදයකින් තොරව මෙම මිශ‍්‍ර අධිකරණය විදේශිකයන්ගේ පාලනයට යටත් වනු ඇත. ඔහු කියන්නේ එවැනි යාන්ත‍්‍රණයක් පිහිටුවීම එහි යතුරු විදේශිකයන්ට පැවරීමක් වනු ඇති බවයි. ඔහු පමණක් නොව තවත් බොහෝ දේශපාලකයන් සහ විචාරකයන්ද අනුමාන කර ඇත්තේ අන්තර්ජාතික සහභාගිත්වය තිබූ පමණින් එය මුළුමනින්ම විදේශිකයන්ගේ පාලනයට නතු වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හොඳින් කියවා බැලූ විට මෙය සැබෑවක් නොවන බව මනාව පැහැදිලි වේ. ඕනෑම විශේෂ අධිකරණයක් පිහිටුවනු ලබන්නේ ශ‍්‍රී ලංකා රජය මගිනි. ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) වගන්තිය යටතේ, පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයක් සහිතව පනතක් සම්මත කිරීමෙන් අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් හෝ පිහිටුවිය හැකිය. එමනිසා අධිකරණයේ අධිකරණ බලය, ව්‍යුහය සහ රාමුව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් තීරණය කෙරේ. උදාහරණයක් ලෙස අධිකරණයට පත් කරන විනිසුරුවරුන් ගණන සහ අභියාචනා ක‍්‍රියාවලිය පිළිබඳ තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන පනතක් මගිනි. එසේම එකී අධිකරණයට කරනු ලබන විදේශීය නිලධාරීන් ඇතුළු පත්කිරීම් සියල්ල සිදු කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා රජය විසිනි. එලෙස පත් කරනු ලබන සියලූ නිලධාරීන්ගේ කාර්යභාරයන්, බලතල, ගෙවීම් ඇතුළු සේවාව සම්බන්ධ සියලූ නියමයන් හා කොන්දේසි පැනවීමද තීරණය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා රජය විසිනි.

වඩා වැදගත් වන්නේ පිහිටුවනු ලබන ඕනෑම අධිකරණ ක‍්‍රියාවලියක් ස්වාධීන වීම, අපක්ෂපාති වීම සහ ඊට අදාළවන කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන දැනුමෙන් කුසලතාවෙන් හා අත්දැකීම්වලින් යුක්ත වීමයි. නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ විදේශීය සහභාගිත්වය අලූත් දෙයක් නොවේ. නිදහසින් පසු මුල් වසර 24 තුළ බි‍්‍රතාන්‍යයේ රාජාධිකරණය හෙවත් ප‍්‍රිවි කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කොටසක්ව පැවතිණ. ප‍්‍රිවි කවුන්සිලය බි‍්‍රතාන්‍ය විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් එකක් විය. එම කාලයේදී එය ශ‍්‍රී ලංකාවේ නිදහසට තර්ජනයක් ලෙස සැලකුණේ නැත. මෑතකදී නිහාල් ජයවික‍්‍රම තර්ක කළ පරිදි නිදහසින් වසර අටකට පසුත් ශ‍්‍රී ලංකාව සතුව මිශ‍්‍ර ශ්‍රේෂ්ඨාධිකරණයක් පැවතිණ. නිදහසින් පසු මුල් වසර අට තුළ ශ‍්‍රී ලාංකික නොවන විනිසුරුවරු තිදෙනෙක් ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළෝය. ඒ හා සමානවම බණ්ඩාරනායක ඝාතනයේ සහ ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනයේ විමර්ශනවලටද විදේශීය විශේෂඥයෝ මැදිහත් වූහ. එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මරණය සම්බන්ධ විමර්ශනයේදීද විදේශීය විනිසුරුවෝ් සහභාගි වූහ.

ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්ත්වය

ලංකාවට ශ්‍රේෂ්ඨ අතීතයක් තිබුණේයැ’යි තර්ක කිරීමට සමහරු උත්සහ ගනිති. අනිවාර්යයෙන්ම ලංකාවේ ඇතැම් ආයතනවලට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබී ඇත. කෙසේ වෙතත් ඒවායේ වර්තමාන තත්ත්වය එහි අතීතය පිළිබිඹු නොකරයි. සත්‍ය ලෙසම ලංකාවෙන් සී.ජී. වීරමන්ත‍්‍රී විනිසුරුතුමා වැනි ඉතාම විශ්වසනීය සහ ගෞරවාන්විත විනිසුරුවරුන් බිහි වී ඇත. කනගාටුවට කරුණක් වන්නේ මෙවැනි ගෞරවාන්විත සේවාවන් ඉටු කළ විනිසුරුවරුන්ගේ සේවය, ශ‍්‍රී ලාංකීය නීති පද්ධතියේ පිළිබිඹුවක් නොවීමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ විශේෂයෙන් සඳහන් ආකාරයට, හිටපු නීතිපති මොහාන් පීරිස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධව ලංකාවේ අධිකරණයට පමණක් නොව එක්සත් ජාතීන්ගේ කෘර වදහිංසාවලට එරෙහිවීමේ කමිටුවටද අසත්‍ය කරුණු දක්වා ඇත. මෑතකදී තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට සිය මෙහෙකාරියට හිංසා කිරීම ගැන චෝදනා එල්ල විය.

19 සංශෝධනය කෝකටත් තෛලයක්ද?

ලංකාවේ අධිකරණ පද්ධතියට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම චෝදනාවකට පිළිතුරු සැපයීමට 19වැනි සංශෝධනය මගින් හැකියාව ලැබී ඇති බවට තර්ක කිරීමට සමහරු උත්සාහ ගනිති. මීට හේතුවන්නට ඇත්තේ එක්කෝ 19 සංශෝධනයේ ඇත්තේ මොනවාද යන්න නොදැනීම හෝ ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ගැටලූ මොනවාද යන්න නොදැනීමයි.

19 සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාච නාධිකරණයට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට මෙන්ම පොලිස් කොමිසමට කරන පත්වීම් තීරණය කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව යළි පිහිටුවා ඇත. එම නිසා අනාගතයේ පත්වන විනිසුරුවරුන් සහ ඉහළ නිලධාරීන් තෝරාගැනීම්වල ස්වාධීනත්වය ඉහළ යනු ඇතැ’යි අනිවාර්යයෙන්ම තර්ක කළ හැකිය.

කෙසේවෙතත් අවධාරණය කරගත යුත්තේ ලංකාවේ නීති පද්ධතියේ ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලූව පමණක් නොවන බවයි. ලංකාවේ අපරාධ යුක්තිය පිළිබඳ වන සෑම පියවරක්ම ගැටලූ සහිතය. ලංකාවේ අපරාධ නීති පද්ධතිය මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කටයුතු කිරීමට තරම් ශක්තිමත් නැත. පොලිස් පරීක්ෂණයන් නිසි පරිදි ස්වාධීනව ක‍්‍රියාත්මක වන්නේ නැත. වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට ප‍්‍රමාණවත් තරම් ආරක්ෂාව ලැබෙන්නේද නැත. මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව සාර්ථකව නඩු පැවරීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ඉටු කර ඇති සේවය ගුණාත්මක බවින් ඉතා පහළ මට්ටමක් පෙන්නුම් කර තිබේ.

මානව හිමිකම් වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබූ ආකාරයට ලෝකයේ දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ‍්‍රී ලංකාවෙනි. ලංකාවේ වෙසෙන සුළු ප‍්‍රමාණයක් වූ ජනගහනයට සාපේක්ෂව බැලූ කල එම සංඛ්‍යාව ඉතා ඉහළ අගයකි. අද දක්වාම මෙවැනි බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිළිබඳව විමර්ශනය කර නඩු පැවරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග ඉතා අල්පය. එසේම ශ‍්‍රී ලංකාව සතුව දශකයකට වඩා පැරණි කෘර වදහිංසා කිරීම්, සාපරාධී ක‍්‍රියා ලෙස හඳුනාගත් පනතක් තිබුණද, ඒ යටතේ සාර්ථකව පැමිණිලි මෙහෙයවා අවසන් කර ඇති නඩු ගණන 10කටත් අඩුය.

19 සංශෝධනයෙන් පසුවද ලංකාවේ අපරාධ යුක්ති ක‍්‍රියාවලියේ මෙවැනි ගැටලූ තවමත් නොවිසඳී පවතී. රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ මූල්‍ය අපරාධ සිදු කර ඇත්ද යන කරුණු පිළිබඳව කෙරෙන විමර්ශනවල වර්තමාන තත්ත්වය රටේ අපරාධ යුක්තිය ඉටු කිරීමේ ක‍්‍රියාවලියේ දුර්වලතා පැහැදිලිව දක්වයි. හිටපු එල්ටීටීඊ නායක කරුණා අම්මාන්ට විරුද්ධව නඩු පැවරීමට තවමත් නොහැකි වීම සහ ඇවන්ගාඞ් සිද්ධිය යට යෑම මීට තවත් උදාහරණ සේ දැක්විය හැකිය.

මහ ලේකම්ට මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුව

ආචාර්ය දයාන් ජයතිලක දක්වන්නේ මහින්ද රාජපක්ෂ සහ මහලේකම් බැන්කි මූන් අතර අත්සන් තැබූ ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් පොරොන්දු වූයේ ලංකාව තුළ වගවීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට පමණක් බවයි. ඔහුගේ තර්කය වන්නේ ලංකාව කිසිසේත්ම වගවීම පිළිබඳ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට එකඟ වූයේ නැති බවයි. එය ව්‍යාජ තර්කයකි. ඒකාබද්ධ ප‍්‍රකාශය ‘ක‍්‍රියාමාර්ග’ යන්න නිර්වචනය නොකිරීම පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලක නිවැරදිය. එහෙත් එවැනි ඕනෑම ක‍්‍රියාමාර්ගයක් විශ්වසනීය, ස්වාධීන හා අර්ථ සම්පන්න විය යුතු බවට ව්‍යංගයෙන් එහි අඩංගු බව බැහැර කළ නොහැක. පැහැදිලිව කියතොත් අන්තර්ජාතික නීතියට අනුව බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව වගවීමට ගන්නා ක‍්‍රියාමාර්ග අතරට කාර්යක්ෂම, විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයන් මෙහෙයවීම මෙන්ම නඩු පැවරීමද අවශ්‍ය වේ.

රාජපක්ෂ රෙජීමය උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමත් අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමත් පිහිටුවූ බව සැබෑය. එහෙත් ඉන් එකක්වත් විශ්වසනීය වූයේවත් ස්වාධීන වූයේවත් නැත. එක්සත් ජාතීන්ගේ වාර්තාව සවිස්තරව දක්වන ආකාරයට, යුද්ධය අවසන් සමයේදී සිදුවූ ඉතා බරපතළ ගණයේ අපරාධ පිළිබඳව සත්‍ය තොරතුරු වාර්තා කිරීමට උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම අසමත් විය. උදාහරණයක් ලෙස යුද්ධයේ අවසන් සමයේ වන්නි ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය තරම් මානුෂීය ආධාර සැපයීමට රජය ප‍්‍රමාණවත් පියවර ගත් බව වාර්තාවේ සඳහන් වුවද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සොයාගැනීම්වලට අනුව වන්නි ජනතාවට ආධාර ලබා දීමේදී රජය විසින් සිතාමතාම ආධාර අවශ්‍ය ජන සංඛ්‍යාව අඩුවෙන් ගණන් බලා සැබෑ ගණන 2,84,000ක් පමණ වන විට ඉදිරිපත් කර ඇත්තේ 70,000කට මානුෂීය ආධාර අවශ්‍ය බවයි.

වාර්තාව අසාධාරණ ලෙස ලංකාව ඉලක්ක කර තිබේද?

මහකොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාව ‘එක් සුවිශේෂී සිද්ධියක්’ බවට කළ ප‍්‍රකාශය මත ආචාර්ය ජයතිලක බොහෝ දේ කියා තිබේ. මහකොමසාරිස්වරයා ලංකාව පිළිබඳ වාර්තාව ඊටම ‘ආවේණික’ වූ එකක් බව කී බව සත්‍යයකි.

ඊට හේතුවූයේ විමර්ශනයක් පැවැත්වෙන අතරතුර ආණ්ඩු මාරුවීමත්, වාර්තාව ප‍්‍රමාද කිරීමට මහකොමසාරිස් කාර්යාලය එකඟවීමත් සිදුවූ පළමු අවස්ථාව මෙය වීමයි.

ආචාර්ය ජයතිලක තර්ක කරන්නේ මහකොමසාරිස් කාර්යාලය ලංකාව වෙන් කොට වෙනස් ලෙස සලකමින් අසාධාරණයක් සිදුකරන බවයි. සියල්ලටම පළමුවෙන්ම අවබෝධ කර ගත යුත්තේ ලංකාවට අනෙක් රටවල වැරදිවලට මුවාවී තම වැරදි වසා ගත නොහැකි බවයි. ජයතිලකගේ තර්කයට අනුව ලංකාව වෙනත් රටක් අත්පත් කරගැනීම හෝ වෙනත් රටක හමුදාවක් පරාජය කිරීම සිදු කර නැත. එසේම මහකොමසාරිස් කාර්යාලය ලිබියාව සහ සිරියාව වැනි වෙනත් රටවල් පිළිබඳව කටයුතු කර නැති බවද ඔහුගේ තර්කයට ඇතුළත්ය. මෙය පැහැදිලිවම අසත්‍යයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලිබියාවේ තත්ත්වය අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කර තිබේ. ලිබියාවේ හිටපු නායක මොහොමඞ් ගඩාෆිගේ පුත් සයිෆ්් ගඩාෆිට විරුද්ධව අධිචෝදනා ගොනු කර ඇත. ලිබියාවේ සිදුවූ දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශන වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. තවත් විමර්ශනයක් සිදු වෙමින් පවතී. එසේම මේ වන විට සිරියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වාර්තා දහයක් මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇත.

එසේම පසුගිය සතියේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ කුන්දුස්හි පිහිටි රෝහලට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශයක් නිකුත් කළේය. හෙතෙම වැඩි දුරටත් එම ප‍්‍රහාරය පිළිබඳ විනිවිදභාවයෙන් යුත් පූර්ණ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමේ අවශ්‍යතාව දක්වා සිටියේය.

මිශ‍්‍ර අධිකරණයක් නිර්දේශ කරන පළමු අවස්ථාවද මේ?

කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය ඇතුළු රටවල් කිහිපයකටම එක්සත් ජාතීන් විසින් මිශ‍්‍ර අධිකරණ නිර්දේශ කර තිබේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ වාර්තා නිර්දේශ කරන්නේ රටවල් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කළ යුතු බවයි.

උතුරු කොරියාව, ඩාෆුර්, ලිබියාව, සිරියාව සහ අත්පත් කරගෙන සිටින පලස්තීන දේශසීමාව ඇතුළු දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් රැසක් පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විමර්ශන සිදු කර ඇත. උතුරු කොරියාව, ඩාෆුර් සහ සිරියාව පිළිබඳ විමර්ශන වාර්තා මගින් මෙම සිද්ධීන් අන්තර්ජාතික අපරාධ අධිකරණයට වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දී තිබේ. එසේම දේශීය වගවීමේ යාන්ත‍්‍රණයක් තහවුරු කිරීමට ඊශ‍්‍රායල රජය අපොහොසත් වුවහොත් සිද්ධිය අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කිරීමට අත්පත් කරගෙන සිටින පලස්තීන දේශසීමාව පිළිබඳව එක්සත් ජාතීන් නිකුත් කළ ගෝල්ඞ් ස්ටෝන් විමර්ශන වාර්තාව නිර්දේශ කර ඇත.

කෙසේවෙතත් ලංකාව පිළිබඳ වාර්තාව ලංකවට එරෙහිව එවැනි නිර්දේශයක් ඉදිරිපත් කර නැත. අවම වශයෙන් ලංකාව පිළිබඳ තත්ත්වය ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළයුතුයැ’යි මහකොමසාරිස්වරයා කියන යෝජනාවක්වත් මෙහි අඩංගු නොවේ. ඒ වෙනුවට ලංකාව විසින් ඔවුන්ගේම දේශීය අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවාගත යුතු බවට එමගින් නිර්දේශ කර තිබේ. වාර්තාවේ 1245 වන පරිච්ෙඡ්දයේ ලංකාව සතුව විදග්ධ අධිකරණ පද්ධතියක් ඇති බව පැහැදිලිව දක්වා තිබේ. එහෙත් එවන් විදග්ධ අධිකරණ පද්ධතියකට වුවද අන්තර්ජාතික අපරාධ විමර්ශනයට ශක්‍යතාවක් නොමැත. ඊට හේතු වන්නේ අන්තර්ජාතික අපරාධ පිළිබඳ නඩු මෙහෙයවීමට විශේෂඥ දැනුම, කුසලතා සහ අත්දැකීම් අවශ්‍ය වීමයි.

විශ්වීය අධිකරණ බලය පිළිබඳ නිර්දේශ

මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන්ට විරුද්ධව විමර්ශන පවත්වා නඩු පැවරීමට එක්සත් ජාතීන් විසින් සිය සාමාජික රටවල් උනන්දු කරවමින් දක්වා තිබූ ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ 36 වන නිර්දේශය පිළිබඳවත් ආචාර්ය ජයතිලක කරුණු දක්වා ඇත. මෙයද ලංකාව පිළිබඳ වාර්තාවට පමණක් ආවේණික වූ වෙනස්ම නිර්දේශයක් නොවේ. පුරවැසියන් නොවන පුද්ගලයන් වෙනත් රටවලදී කරන අපරාධයන් සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ඇති බලය හෙවත් විශ්වීය අධිකරණ බලය යන්න ස්පාඤ්ඤය වැනි රටවල් කිහිපයක් පිළිගත් නීතිමය සංකල්පයකි. ඩාෆුර් විමර්ශන වාර්තාව ඇතුළු එක්සත් ජාතීන්ගේ වෙනත් විමර්ශන වාර්තාවලද මෙවැනි නිර්දේශ අඩංගු වේ.

විශ්වීය අධිකරණ බලය එක්සත් ජාතීන්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව භාවිත කළ හැකිය. එක්සත් ජාතීන් විසින් නිර්දේශ කළද නොකළද යම් රටක් විශ්වීය අධිකරණ බලය පිළිගන්නේ නම් ඔවුනට වෙනත් රටක සිදුවූ අපරාධ පිළිබඳව විමර්ශන පවත්වා නඩු පැවරිය හැකිය. අතීතයේදී ලංකාව තුළ එල්ටීටීඊය සිදු කළ මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව කැනඩාව සහ නෙදර්ලන්තය විසින් මෙම විශ්වීය අධිකරණ බලය භාවිත කරමින් දේශසීමාවෙන් පිටත අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ වගන්ති යටතේ විමර්ශන පවත්වා නඩු පැවරීය.

වගවීමේ යාන්ත‍්‍රණ ගැටුමෙන් වසර 30කට පසුව

ආචාර්ය ජයතිලක තවදුරටත් සඳහන් කරන්නේ යුද්ධයකින් පසු රටවල් විසින් දේශීය වගවීමේ යාන්ත‍්‍රණයන් පිහිටුවා ගනු ලැබ ඇත්තේ ගැටුම් අවසන් වී වසර 30-40කට පමණ පසුව බවයි. මානව හිමිකම් උල්ලංඝනය වී දශක ගණනාවකට පසු ඒ පිළිබඳ විමර්ශන සිදුකළ අවස්ථා පිළිබඳ බැලූ විට මෙම ප‍්‍රකාශය නිවැරදිය. එහෙත් ලතින් අමරිකාව උදාහරණයක් ලෙස ගෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශනය හා නඩු පැවරීම සිදු කරන්නේ ඒවා සිදු වී වසර 30, 40ක් ගතවූ පසු බව ඔහු දක්වයි. මෙය කරුණුමය වශයෙන් නිවැරදි නොවේ.

උදාහරණයක් ලෙස චිලි රාජ්‍යයේ ජෙනරල් පිනොෂේගේ රෙජීමය අවසන් වූයේ 1989 වසරේදීයි. එම වසරේදීම (1989) ජනාධිපති ඇල්වින් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශනයට සත්‍ය විමර්ශන කොමිසමක් පත් කළේය. සත්‍ය විමර්ශන කොමිසමේ සොයා ගැනීම් වසර 2කට පසුව 1991 වසරේදී නිකුත් කෙරිණි. ජෙනරාල් පිනොෂේගේ පාලනය බිඳ වැටී වසර 9කට පසු බි‍්‍රතාන්‍යයේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.

ඒ හා සමානවම ආර්ජන්ටිනාවේ මිලිටරි ජුන්ටාවේ පරාජයත් සමගම ඇෆ්ලොන්සින් ජනාධිපතිවරයා සිදු කළ මුල්ම කටයුතු කිහිපයෙන් එකක් වූයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳ විමර්ශනයට සත්‍ය විමර්ශන කොමිසමක් පත් කිරීමයි. මිලිටරි ජුන්ටාවේ කඩා වැටීමෙන් වසර දෙකකට පසු එනම් 1985 වසරේදී සත්‍ය විමර්ශන කොමිසමේ සොයා ගැනීම් මත පදනම්ව හමුදා නායකයන්ට එරෙහි පළමු නඩු කිහිපය විමසීම ආරම්භ කරන ලදි.

අප ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිබඳ විවාද කළ යුතුය. එසේම ලංකාව ඊට දැක්වූ ප‍්‍රතිචාරයද අප විවාදයට බඳුන් කළ යුතුය. එහෙත් අප කරන මේ සියලූ සංවාදයන් කළ යුත්තේ නිවැරදි තොරතුරු මත පදනම්ව නිසි අවබෝධයෙන් පමණෙකි.

- See more at: http://ravaya.lk/?p=10378#sthash.4w83BBkd.dpuf

Comments