Skip to main content
මහින්ද 18 ගෙනාවේ තමා ගැන හිතලා | ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
by තරිඳු උඩුවරගෙදර Syndicated from ravaya.lk,
ඔබ එක්වරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව අදහස් දක්වන්න පටන් අරගෙන.
එක්වරම කියපු දෙයක් නෙවෙයි. කාලයක ඉඳන් මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටියා. විධායක ක්‍රමය බිහිවුණ දවසේ ඉඳලා වැඩි දෙනෙක් හිටියේ ඊට විරුද්ධ ස්ථාවරයක. අවසානයේ විධායක ක්‍රමය බිහිකළ එජාපය පවා අපේ අදහසට එකඟ වෙමින් විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කළා. මේ කතාබහ පසුගිය අවුරුද්දේ එක්වරම මතු වුණා. විපක්ෂයේ හිටපු අය සිවිල් සමාජය සමග විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය ප්‍රබල ලෙස ගෙන ගියා. දැන් ඒ අය බලයට ආ පසුව ඒ සටන් පාඨය අත්හැරලාද කියන ප්රශ්නය තියෙනවා. මගේ අදහස දැන් තියෙන්නේ දුර්වල ආණ්ඩුවක් නෙවෙයි. මේ වගේ යෝජනාවකට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ඒ නිසා විධායක ක්‍රමය අහෝසි කරන කතාබහ දැන් කරළියට ගෙන ආ යුතුයි.
විධායක ක්‍රමය ලංකාවට නොගැළපෙන බව විවිධාකාර පදනම් සමග ප්‍රකාශ වෙනවා. විධායක ක්‍රමය නොගැළපෙන්නේ කුමන හේතුව නිසාද කියලා ඔබට අදහසක් ඇති.
විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන රටවල් ලෝකයේ තියෙන බව අපි දන්නවා. මේකේ හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් තියෙනවා. මගේ අදහස යුද්ධය ඉවර කරන්න විධායක ජනාධිපති ක්‍රමය ධනාත්මක ලෙස බලපෑවා. යුද්ධය අවසන් වී සාමකාමී පසුබිමක බලය එක් අයෙක් ළඟ තියෙනවාට වඩා පාර්ලිමේන්තුව හරහා බෙදී යෑම වැදගත් වෙනවා. පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් ඉන්න එක හොඳයි. පුද්ගලවාදීව හිතන්න හොඳ නැහැ. අප කැමති කෙනෙක් විධායක ජනාධිපති ධුරයේ ඉන්න කොට මේ ක්රමයේ හොඳ දැකීමත්, විරුද්ධ කෙනෙක් ඉන්නකොට බරපතළ ලෙස විරුද්ධ වීමත් වැරදියි. මේ බලය භයානකයි. හොඳ කෙනෙක් අතට ගියොත් හොඳයි. නරක කෙනෙක්ට ලැබුණොත් විනාශයක්.
වත්මන් ජනාධිපතිවරයා බලතල පාවිච්චි නොකරන බව පවසමින් මීට කලින් විධායක ක්‍රමයට විරුද්ධ වුණ සමහරු ඒ සම්බන්ධව ලිහිල් ආකල්පයකට ඇවිත්.
වත්මන් ජනාධිපතිවරයා ඡන්දයකින් විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණේ. ඔහුගේ කාලය අවසන් වන තෙක් යම් බලතල සහිතව ධුරයේ හිටියාට කමක් නැහැ. ඒ කාලය අවසන් වූ පසුව විධායක ක්‍රමය අහෝසි වන විදිහේ සංශෝධනයක් ගේන්න ඕනෑ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට විධායක ක්‍රමය අවසන්කිරීමේ යෝජනාව කරන්න සූදානම් බවත් ඔබ කියා තිබුණා.
අපි හැත්තෑ අටේ ව්‍යවස්ථාව හදලා අවුරුදු තිස් ගණනක් වෙනකොට ව්‍යවස්ථාව 19 පාරක් සංශෝධනය කරලා විසිවෙනි සංශෝධනයක් ගැනත් කතා කරනවා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව රටට නොගැළපෙන එකක් වීම වගේම පෞද්ගලික වුවමනා මත ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් නිසා මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඒ නිසා මගේ අදහස නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එතෙක් විධායක ක්‍රමය අහෝසි කරන සංශෝධනයක් ගෙනැවිත් අලූත් ව්‍යවස්ථාවකට පදනම දාගැනීම හොඳයි.
ඔබ කී විදියට අලූත් ව්‍යවස්ථාවක් කිහිප දෙනෙකුගේ පෞද්ගලික වුවමනා මත හැදුණොත් ආයෙමත් ප්‍රශ්න මාලාවක් ඇතිවෙනවා.
ව්‍යවස්ථා සම්පාදනය සම්පූර්ණයෙන් මැදිහත් කාර්යයක් විය යුතුයි. එය පුද්ගලයෙක් නෙවෙයි රටට බලපාන විදිහේ එකක් කරගන්න අවශ්‍යයි. හැකි තරම් කාලයක් අරන් ඒක කරන්න ඉක්මනින් වැඩ පටන් ගන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙන් තමයි ඒක පටන්ගත යුත්තේ. තවමත් මට පෙනෙන්නේ නැහැ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ එහෙම සාකච්ඡුාවක් කරන්න සූදානමින් ඉන්න බවක් වත්. කරදරයක් නැතිව මේ වැඬේ කරගන්න දැන් තුනෙන් දෙකක බලයක් තියෙනවා. එජාපය සිවිල් සමාජය සමග එක්ව ඡුන්දයට කලින් කියූ දේවල් ක්‍රියාත්මක කළ යුතුයි.
එජාපය තුළ ව්‍යවස්ථාවක් ගැන කතාබහ සිද්දවෙන බවක් පේනවා. විවිධ කමිටු සාකච්ඡුා ගැන මාධ්‍ය වාර්තා පළවෙනවා.
ව්‍යවස්ථාවක් හැදීම පක්ෂයකට බාරදිය යුතු කාරණයක් නෙවෙයි. සිවිල් සංවිධාන, නීති විශාරදයන් සහ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් වගේ නොයෙකුත් වෘත්තිය වේදීන්ගේ අදහස් එකතු කරගන්න ඕනෑ. ජනතාවගේ අදහස් සමීක්ෂණය කරන්න ඕනෑ. නැත්නම් රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදාගන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා 18 වෙනි සංශෝධනය ගෙනාවේ රට ගැන හිතලා රටට ගැළපෙන සංශෝධනයක් විදියට නෙවෙයි. තමන්ට තුන්පාරක් ඉල්ලන්න අවස්ථාව හදාගන්නයි. බලය තියෙන වෙලාවට තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කරගන්න එක වැරදියි. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෙනා ව්‍යවස්ථාව වගේම සංශෝධන බොහොමයක් පෞද්ගලික වුවමනා ඉටුකරගන්න කළේ. අලූත් ව්‍යවස්ථාවක් පක්ෂයකට වුවමනා විදියට ගෙනල්ලා වැඩක් නෑ.
එකතු කරගත්ත තුනෙන් දෙකේ බලයත් එක්ක කාලයක් බලයේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයා මේක කළ යුතුව තිබුණා කියලා ඔබ හිතන්නේ නැද්ද?
මහින්දට ඓතිහාසික අවස්ථාවක් ලැබුණා ව්‍යවස්ථාවක් ගෙනෙන්න. ඔහු කළේ 18 ගෙනා එක. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සංවාදයක් ඇතිවෙන්න තිබුණා විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන. ඒත් හැමෝම කළේ 18ට අත ඉස්සූ එක. 18 කියන්නේ වැරදි පුද්ගලයෙක් වෙනුවෙන් ගෙනා සංශෝධනයක්. මහින්ද මහත්තයා වරද්ද ගත්තේ එතැනින්.
ඔබ පාර්ලිිමේන්තුවේ හිටියා නම් 18ට අත උස්සනවාද? විරුද්ධව කතා කරනවාද?
සමහර විට මමත් අත උස්සයි. ඒ වෙලාවෙ හැමෝම අත ඉස්සුවා. හැබැයි මගේ විරෝධය මම පළ කරනවා. පළාත් සභාව තුළ මම කටයුතු කළේත් ඒ විදිහට.
ඔබත් එක්ක මහින්ද පිලේ වැඩකළ උදය ගම්මන්පිල කියනවා ප්‍රසන්න රණතුංගගේ මතය එක්ක එකඟ නැහැ. බලතල අඩු කළ විධායක ක්‍රමයක් පැවතිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂගේ අදහස පැහැදිලි නෑ.
එක එක පක්ෂවලට විවිධ මත තියෙන්න පුළුවන්. එයාලා විධායක ක්රමයේ හොඳ පැති විශ්වාස කරනවා. මේ විවිධ මත සමග ගනුදෙනු කරන්න ඕනෑ. ප්රබුද්ධ සහ නිපුණතාව තියෙන අය මේ ගැන සංවාද කරන්න ඕනෑ. මම නීති විශාරදයෙක් නෙවෙයි. දේශපාලන අත්දැකීම් සමග මගේ අදහස කිව්වේ. මහින්ද මහත්තයාගේ අදහස නම් මම දන්නේ නැහැ. ඒක ඔහුගෙන්ම අහන්න ඕනෑ.
ඔබ මීට කලින් කීවා බලතල බෙදීම කුමන නමකින් හෝ කරන්න ඕනෑ කියලා.
මට තියෙන අදහස වෙනස්. කලින් පළාත් සභාවේ ඉන්නකොට මම කීවා පොලිස් සහ ඉඩම් බලතල එපා කියලා. දැන් උතුරු නැගෙනහිර තත්ත්වයත් එක්ක මීට වඩා පුළුල් බලතල බෙදීම සුදුසුද කියලා අලූතින් සිතා බලන්න ඕනෑ. යුද්ධය ඉවරවෙච්ච ගමන් මේක කළා නම් ගැටලූ ඇතිවෙන්න තිබුණා. මෙය සිහි කල්පනාවෙන් කළ යුතු දෙයක්. ඔවුන්ගේ සංස්කෘතිය, සමාජය ගැන දන්න අයව දේශපාලනයට සම්බන්ධ කරගැනීම හොඳයි. එය කල්පනාවෙන් කළ යුතුයි.
දැන් දිනේෂ්, විමල්, ගම්මන්පිල මහත්වරු අලූත් සංවිධානයක් පිහිටුවලා වැඩ කරනවා. ඔබ ඇතුළු මහින්ද හිතවාදී ශ්‍රීලනිප කණ්ඩායම එතැන ඉන්නවාද?
ඒ අය එක්ක ඒ ගැන අපි කතා කරලා නැහැ. මගේ අදහස සන්ධානය පවතින්න ඕනෑ. ඒක රැුකගැනීම වෙනුවෙන් ශ්රීලනිපය පැත්තෙන් කැපවීමක් තියෙන්න ඕනෑ. ශ්‍රීලනිපයට තමන්ගේ හිතමිතුරු වාමවාදී බලවේග අත්හරින්න බැහැ. ශ්රීලනිපය ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වෙලා නිසා ඔවුන් ඈත් වෙමින් ඉන්නවා. මටත් ඒ ආණ්ඩුව සමග ඉන්න බැහැ. හැබැයි මගේ අදහස ශ්රීලනිපය සහ පරණ හිතමිතුරන්ගේ සම්බන්ධය කැඩෙන්න හොඳ නැහැ.
පසුගිය කාලසීමාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන අදහස මොකක්ද?
ආණ්ඩුවට බලයක් තියාගෙන කරන දෙයක් පෙනෙන්නේ නැහැ. පසුගිය කාලයේ පනතක් කියලා ගෙනාවේ ඇමතිකම් වැඩි කරගන්න ගෙනා යෝජනාව තමයි. ජනාධිපතිවරණයෙන් පස්සේ මාස 10ක් ගිහින්. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් වෙලා නැහැ. බඩුමිල වැඩිවෙලා, ගොවියා සුරක්ෂිත කරනවා කිව්ව පොරොන්දු ඉටු කරගන්න බැරිවෙලා. ඡුන්දයට කලින් කාර් ගන්න පුළුවන් කියලා තරුණයන් රවටලා දැන් කාර්වල මිල ඉහළ යවලා. අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරනවා කිව්වාට එහෙම එකක් වෙලා නැහැ. මාධ්‍ය මර්දනයක් නැහැ කිව්වාට ජනාධිපතිවරයා සමහර දේවල් පළ නොකර කටවල් වහගෙන සිටීම ගැන මාධ්‍යවලට ප්‍රසිද්ධියේ ස්තුති කරනවා. නිදහස, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය තියෙනවා නම් එහෙම නෙවෙයි විය යුත්තේ. සියලූ දෙනාගේම අදහස්වලට ඇහුම්කන් දීලා ඒවාට ඉඩදිය යුතුයි.
- See more at: http://ravaya.lk/?p=10308#sthash.rrovY1rX.dpuf
Comments
Post a Comment